September 14, 2026

ගාල්ලට නාවික සැතපුම් 15ක් ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී අගෝස්තු 15 වැනිදා උදෑසන ධීවරයින් පිරිසක් හෙළූ දැලකට ලොව විශාලතම මත්ස්‍ය විශේෂය වන මිනි මුතු මෝරෙකු අහම්බෙන් පැටලී ඇත.

බෝට්ටුවේ දිගට සමාන අඩි 20ක් පමණ දිගැති, ටොන් 2කට වඩා බරැති මෙම මෝරා තවමත් කුඩා පැටවකු වන අතර, වැඩුණු මිනි මුතු මෝරෙකු අඩි 59ක් දක්වා දිගට සහ ටොන් 20-30ක් දක්වා බරින් වැඩිවිය හැක.

මිරිස්ස ධීවර වරායෙන් පිටත්වූ මිරිස්සේ අශාන් ඇතුළු පිරිස, දැල බේරාගැනීම වෙනුවට රුපියල් 25,000කට වඩා වටිනා දැල කපා දමා මෙම අහිංසක සත්වයා නිදහස් කිරීමට කිසිදු පැකිලීමකින් තොරව කටයුතු කළහ.

අශාන් මෙලෙස මිනි මුතු මෝරෙකු බේරාගත් 4 වැනි අවස්ථාව මෙය වන අතර, 2023 වසරේදී රුපියල් ලක්ෂයකට වඩා වටිනා දැලක් කපා දැවැන්ත මෝරෙකු බේරාගෙන තිබේ.

තවත් අවස්ථාවක පැටවකු බේරාගන්නා තෙක් උගේ මව් මෝරා බෝට්ටුව අසලම රැඳී සිට ඇති අතර, උන් නිදහස් වූ පසු බෝට්ටුව වටා පිහිනමින් වතුර විද ස්තූති කර පලාගිය බව අශාන් සිහිපත් කරයි.

සාගර ජීවීන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට අශාන් ආරම්භ කළ යූටියුබ් සහ ෆේස්බුක් පිටුවලට මේ වන විට 100,000කට අධික පිරිසක් එකතු වී ඇති අතර, මෙම මෝරා නිදහස් කරන වීඩියෝව ද එහි ප්‍රසිද්ධ කර ඇත.