November 2, 2026

දෙමළ සිනමා සුපිරි නළු රජිනිකාන්ත් යළිත් වරක් සිනමා ඉතිහාසය අලුත් කරමින් නව වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ, ඔහුගේ නවතම සිනමා නිර්මාණය වන ‘Jailer 2’ ලොව බොක්ස් ඔෆිස් වාර්තා අතර ඉන්දීය රුපියල් කෝටි 800ක ආදායම් සීමාව ඉක්මවා ගිය පළමු දෙමළ චිත්‍රපටය බවට පත්වෙමිනි.

ප්‍රකට බොක්ස් ඔෆිස් වාර්තා විශ්ලේෂක Sacnilk ආයතනය සඳහන් කරන ආකාරයට, මෙම චිත්‍රපටය තිරගත වීම ආරම්භ වී දින 18ක් වැනි කෙටි කාලයක් තුළ ගෝලීය වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 807.25ක දැවැන්ත ආදායමක් උපයා ගනිමින් මෙම සුවිශේෂී කඩයිම පසුකර ඇත.

මෙම ත්‍රාස්තජනක ක්‍රියාදාම චිත්‍රපටය ඉන්දියාව තුළ පමණක් දළ ආදායම ලෙස ඉන්දීය රුපියල් කෝටි 533.75ක් උපයා ඇති අතර, විදේශීය වෙළෙඳපොළවල් හරහා ලැබී ඇති ආදායම රුපියල් කෝටි 273.50කි.

මෙම ජයග්‍රහණයත් සමඟ, මීට පෙර 2018 වසරේදී තිරගත වූ බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් වන ‘2.0’ හරහා තමන් විසින්ම පිහිටුවා තිබූ බොක්ස් ඔෆිස් වාර්තාව බිඳ දමමින්, මෙතෙක් ලොව පුරා ඉහළම ආදායම් ලැබූ දෙමළ සිනමා නිර්මාණයේ ප්‍රධාන නළුවා ලෙස රජිනිකාන්ත් තවදුරටත් සිය කිරුළ ආරක්ෂා කර ගෙන තිබේ.

නෙල්සන් දිලීප්කුමාර් විසින් අධ්‍යක්ෂණය කර Sun Pictures ආයතනය නිෂ්පාදනය කරන ලද ‘Jailer 2’ යනු, 2023 වසරේ අතිශය ජනප්‍රිය වූ ‘Jailer ‘ චිත්‍රපටයේ දෙවැනි කොටසයි. මෙහි රජිනිකාන්ත් විශ්‍රාමික සිරගෙදර ප්‍රධානියා වන ‘මුුතුවේල් පාණ්ඩියන්’ ලෙස යළිත් ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙයි.

විශේෂත්වය වන්නේ, මෙම චිත්‍රපටය සඳහා දකුණු ඉන්දීය සුපිරි නළු මෝහන්ලාල්, ශිවා රාජ්කුමාර් ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වීමයි. එපමණක් නොව, 2026 වසරේ දෙවැනියට වැඩිම ආදායමක් ලැබූ ඉන්දීය චිත්‍රපටය ලෙසද ‘Jailer 2’ මේ වන විට වාර්තා අතරට එක්වී තිබේ.