September 21, 2026

පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් තිදෙනා ඇතුළු පවුලේ සාමාජිකයින් සහ පකිස්තාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ ක්‍රියාකාරීන් හිතුමනාපයට අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් මානව හිමිකම් සංවිධානය සිය දැඩි විරෝධය පළකර සිටී.

සැප්තැම්බර් 27 වනදා පැවැත්වීමට නියමිත විරෝධතා පාගමනට පෙර සිදුවූ මෙම අත්අඩංගුවට ගැනීම් පිළිබඳ අදහස් දක්වමින් ඇම්නෙස්ටි සංවිධානයේ දකුණු ආසියානු නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්ෂ බාබූ රාම් පාන්ට් ප්‍රකාශ කළේ, ඉම්රාන් ඛාන්ගේ පවුලේ සාමාජිකයින් සහ පක්ෂ ක්‍රියාකාරීන් ඉලක්ක කරගැනීම ඔවුන්ගේ නිදහස, භාෂණයේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවයි.

පකිස්තානය පුරා පැවැත්වීමට නියමිත මෙම විරෝධතා මර්දනය කරන බවට එරට රජයේ නිලධාරීන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර, විරෝධතාකරුවන් වැළැක්වීම සඳහා ඉස්ලාමාබාද් නුවර මාර්ග බාධක පවා යොදවා තිබේ.

විරෝධතාවයක් ආරම්භ වීමටත් පෙර එය ප්‍රචණ්ඩකාරී එකක් ලෙස හමුදාව හෝ පොලිසිය විසින් නම් කිරීම අසාධාරණ බව පෙන්වා දෙන ඇම්නෙස්ටි සංවිධානය, සාමකාමීව රැස්වීමට ජනතාවට ඇති අයිතිය සුරක්ෂිත කිරීමට පකිස්තාන බලධාරීන් කටයුතු කළ යුතු බව අවධාරණය කරයි.

දේශපාලන අනුබද්ධතාවය සහ පවුල් සබඳතා නිසාම පමණක් අත්අඩංගුවට ගෙන සිටින ඉම්රාන් ඛාන්ගේ ඥාතීන් සහ PTI පක්ෂ ක්‍රියාකාරීන් වහාම නිදහස් කරන ලෙස ඇම්නෙස්ටි සංවිධානය පකිස්තාන රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.