February 22, 2024

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත සිදුකර තිබෙන ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය සොයා බලා ඊට අවශ්‍ය විනය පියවර ගැනීමට උපදෙස් දී ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.

රටේ ජනතාවට අපහාස කළ විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයාට එරෙහිව වහාම පියවර ගෙන, ඔහුගේ වැඩ තහනම් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී අගමැතිවරයා මෙසේ සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මෙම ඉල්ලීම සිදුකරන ලද්දේ රුපවාහිනී වැඩසටහනකට එක්වෙමින් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත කරන ලද ප්‍රකාශයකට විරෝධය පළකරමිනි.

ඒ අනුව, අවශ්‍ය නම් කුප්පි ලාම්පුවක් භාවිතයෙන් දරුවන්ට අධ්‍යාපනය ලැබීමට හැකි විය යුතු බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පසුගියදා පැවසීය.

සිය ජීවිතයේ විශිෂ්ටයන් වූ වැඩිහිටි පරම්පරාව කුප්පි ලාම්පු භාවිතයෙන් අධ්‍යාපනය ලැබූ බව ඔහු සඳහන් කළේය.

අද දෙරණ සමඟ පැවති වැඩසටහනකදී ශ්‍රී ලංකාවේ විදුලි මිල ඉහළ යෑම සම්බන්ධ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පැවැසීය.