June 16, 2026

ඉන්දීය ක්‍රිකට් පිටියේ දැඩි කතාබහට ලක්ව ඇති නවක ක්‍රීඩක වෛභව් සූර්යවංශීට ඔහුගේ දක්ෂතා අතරට පැමිණීමත් සමඟ ඇති වන බාහිර බලපෑම් සහ කතාබහයන් නොසලකා හරිමින්, තම ක්‍රීඩාව කෙරෙහි පමණක් අවධානය යොමුකරන ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අනුර තෙන්නකෝන් උපදෙස් දී තිබේ.

ඉන්දියා ‘ඒ’ සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා දඹුල්ලට ගොස් සිටි අනුර තෙන්නකෝන්, තරගයෙන් අනතුරුව මෙම 15 හැවිරිදි තරුණ ක්‍රීඩකයා හමුවී ඔහුව දිරිමත් කරමින් මෙලෙස අදහස් දක්වා ඇත.

වාර්තා වන අන්දමට, සූර්යවංශී විසින් අනුර තෙන්නකෝන්ට වැඳ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව හිටපු නායකයා මෙම උපදෙස් ලබා දී තිබේ.

“ඔයා ඔයාගේ ක්‍රීඩාව ගැන විතරක් අවධානය යොමුකරන්න, පිටතින් ඇහෙන කතාබහවල් අමතක කරන්න” යැයි අනුර තෙන්නකෝන් මෙම තරුණ ක්‍රීඩකයාට පවසා ඇත.

“අද දවසේ අවාසනාවන්ත ලෙස ඔයාට හොඳින් ක්‍රීඩා කරන්න බැරිවුණා. නමුත් ඒක ක්‍රිකට් ක්‍රීඩාවේ හැටි, හැමදාම එක වගේ දස්කම් දක්වන්න බැහැ,” යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ පළමු එක්දින ක්‍රිකට් නායකයා වන අනුර තෙන්නකෝන්, සූර්යවංශීව හඳුන්වාදුන්නේ “පරම්පරාවකට වරක් බිහිවන දක්ෂයෙකු” (generational talent) ලෙස වන අතර, ඔහුගේ බියක් නැති පිතිකරණ විලාසය ද මෙහිදී අගය කළේය.

“IPL තරගාවලියේදී ඔහුගේ පිතිකරණය දැකලා මම ඇත්තටම පුදුම වුණා. ඔහු ඒ හතරේ සහ හයේ පහරවල් එල්ල කරන ආකාරය ඇදහිය නොහැකි තරම්. ඔහු දිගටම මේ විදිහට ක්‍රීඩා කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා,” යැයි අනුර තෙන්නකෝන් පැවසීය.

දඹුල්ලේදී පැවැති මෙම තරගයේදී ඉන්දියා ‘ඒ’ කණ්ඩායම, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම හමුවේ සුපිරි පන්දුවාරයකින් (Super Over) තියුණු පරාජයක් ලැබූ අතර, එහිදී සූර්යවංශී ලකුණු 21ක් රැස්කිරීමට සමත්විය.