April 22, 2023

දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන හා වෙනස්කම්වලට භාජනය වන බැවින්, යෝජිත පනත් කෙටුම්පත පිළිබඳ කිසිවකුටත් බියක් හෝ තර්ජනයක් ඇති නොවිය යුතු බව අධිකරණ ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවැසීය. ත‍්‍රස්ත මර්දන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් විධිවිධාන සම්බන්ධයෙන් ගෝලීය සහ දේශීය ප‍්‍රජාව විසින් මතු කරන කනස්සල්ල පිළිබඳව රජය දැනුවත් අතර, ඒවා සාකච්ඡාවෙන්, සම්මුතියෙන් සහ නම්‍යශීලීභාවයෙන් සමනය කිරීමට රජය සූදානම් බවද ඇමතිවරයා සඳහන් කළේය.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඇමැති රාජපක්ෂ කියා සිටියේ 1979 ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ පාලනය යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සම්මත කරන ලද්දේ එවකට නැගී ආ බෙදුම්වාදී කැරැල්ලට එරෙහිව තාවකාලික පියවරක් ලෙස බවයි.

“ඒ නිසා තමයි කුරිරු නීති සම්පාදනයක් ලෙස හංවඩු ගසා තිබූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව ආදේශ කිරීමක් සිදුකිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ. ජනතාවගේ අයිතිවාසිකම්, ඔවුන්ගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සීමා කරන යම් ප්‍රතිපාදන තිබෙනවා නම්, ඒවා වෙනස් කිරීමට රජය කටයුතු කරනවා. ඊට අමතරව ඕනෑම පුරවැසියෙකුට, දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එය අභියෝගයට ලක් කිරීමට නිදහස තිබෙනවා” යැයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.