July 20, 2026

ඇන්ඩි බර්න්හැම් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙස නිල වශයෙන් පත්ව තිබේ.

ආණ්ඩුවක් පිහිටුවන ලෙස තුන්වන චාල්ස් රජු කළ නිල ඇරයුම ද බර්න්හැම් විසින් පිළිගත් බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

හිටපු අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර්ගෙන්, බර්න්හැම් වෙත බලය පැවරීම සනිටුහන් කෙරෙන රාජකීය උත්තමාචාර සම්ප්‍රදායික චාරිත්‍රයෙන් පසු, දෙදෙනා අතට අත දෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක් බකිංහැම් මාලිගය විසින් නිකුත් කර ඇත.

බර්න්හැම් පසුගිය සතියේදී කම්කරු පක්ෂයේ නායකයා ලෙස කියර් ස්ටාමර් වෙනුවට පත් විය.

සති කිහිපයක් පුරා බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති ලෙස අපේක්ෂිතව සිටි බර්න්හැම්, තුන්වන චාල්ස් රජු විසින් බ්‍රිතාන්‍යයේ නව නායකයා ලෙස පත් කරනු ලැබීම සඳහා සඳුදා දින බකිංහැම් මාලිගය වෙත පැමිණියේය.

ඒ අනුව ඔහු කියර් ස්ටාමර්ගේ අනුප්‍රාප්තිකයා වන අතර, ඒ සමගම බ්‍රිතාන්‍යයේ පැවැති දේශපාලන නොසන්සුන්තාව අවම වශයෙන් තාවකාලිකව හෝ සමනය වී සුමට බල හුවමාරුවකට මග පෑදි තිබේ.

එමෙන්ම වසර 4ක් තුළ බ්‍රිතාන්‍යයේ අගමැති ධූරය භාර ගන්නා 5 වන පුද්ගලයා බවට ද ඇන්ඩි බර්න්හැම් පත්විය.