June 24, 2026

රියදුරු පාසල්වල ආධුනිකයන්ට රිය පැදවීම පුහුණු කරන උපදේශකවරුන් සඳහා නිල පුහුණු බලපත්‍රයක් තිබීම අනිවාර්ය බව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරයි.

එවැනි නිසි අවසරයකින් තොරව රියදුරන් පුහුණු කරන ඕනෑම අයෙකුට එරෙහිව තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නා බව ද පොලිසිය අනතුරු අඟවයි.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් රථවාහන හා මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර සඳහන් කළේ, බොහෝ රියදුරු පාසල් සඳහා පුහුණු බලපත්‍ර තිබුණද, ප්‍රායෝගිකව ආධුනිකයින්ට රිය පුහුණුව ලබාදෙන්නේ නිසි සුදුසුකම් නොමැති පුද්ගලයන් විසින් බවයි.

“මින් ඉදිරියට රියදුරු පුහුණු සැසි පවත්වන ඕනෑම අයෙකු සතුව රියදුරු පුහුණු උපදේශක බලපත්‍රයක් තිබීම අනිවාර්ය කිරීමට අප උපදෙස් දී තිබෙනවා. එසේ නොමැතිව පුහුණු කිරීම්වල නිරත වන අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා,” යැයි ඔහු පැවසීය.

නිසි ප්‍රමිතියකින් තොරව රිය පුහුණුව ලබාබලපත්‍ර ලබා ගන්නා තරුණ පිරිස් බහුලව මාර්ග අනතුරුවලට ලක්වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී පෙන්වාදුන්නේය.

එවැනි තරුණ රියදුරන්ට වේගය පාලනය කරගැනීමට නොහැකි වීම මෙන්ම, ඔවුන් මාර්ග සංඥා හෝ මාර්ග නීති නිසි ලෙස අනුගමනය නොකිරීම හේතුවෙන් මෙම අනතුරු සිදුවන බව ද ඔහු පැහැදිලි කළේය.

මෙම බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ දැනටමත් සාකච්ඡා පවත්වමින් සිටින බවත්, එහිදී සහතිකලත් උපදේශකවරුන්ට පමණක් ආධුනිකයන් පුහුණු කිරීමට ඉඩ ලබාදීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් නියෝජ්‍ය පොලිස්පති සේනාධීර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.