
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේදී චීන ජාතිකයන් පිරිසක් අතර ඇති වූ ප්‍රචණ්ඩකාරී ගැටුම, චීන සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ අන්තර්ජාතික සයිබර් වංචා මෙහෙයුමක් දක්වා දුරදිග ගිය අතිශය සංකීර්ණ සහ දැවැන්ත අපරාධ විමර්ශනයක් බවට පත්වෙමින් තිබේ.
මෙම සිදුවීමේදී පැහැරගෙන ගොස් පසුව ඝාතනය කර තිබියදී සොයාගත් චීන ජාතිකයා, පරිගණක වංචා සහ සයිබර් අපරාධවලට සම්බන්ධ පුද්ගලයකු ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.
විමර්ශකයන් අනාවරණය කරගෙන ඇති තොරතුරුවලට අනුව, මෙම ගැටුමට සම්බන්ධ චීන ජාතිකයන් ශ්‍රී ලංකාව තුළ කිසිදු නීත්‍යානුකූල රැකියාවක නිරත වී නොමැති අතර, ඔවුන් මීට මාස හතරකට පමණ පෙර මෙරටට පැමිණ ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන චීන ජාතිකයන් දෙදෙනාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන් විසින් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ.
අදාළ සැකකරුවන් දෙදෙනා සිංගප්පූරුව බලා යන ගුවන් යානයකට නැගීමට උත්සාහ කරමින් සිටියදී ඊයේ පස්වරුවේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත. අද දින ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, පැය 48 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිවිය.
විමර්ශකයන්ට අනුව, චීන ජාතිකයන් කණ්ඩායම් දෙක අතර මෙම ගැටුම හටගෙන ඇත්තේ බ්‍රහස්පතින්දා (23) අලුයම් කාලයේදී කොළඹ පෝට් සිටි පරිශ්‍රය තුළදීය.
පෙරදින රාත්‍රී 11.00 ට පමණ චීන ජාතිකයන් තිදෙනකු මසුන් ඇල්ලීම සඳහා පෝට් සිටි පරිශ්‍රයේ පිහිටි එල්ලෙන පාලම වෙත ගොස් ඇති අතර, අලුයම 2.00 ට පමණ තවත් චීන ජාතිකයින් 20 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ඇත.
එම පිරිස ගිනිඅවි පෙන්වා තර්ජනය කර, අදාළ පුද්ගලයන් තිදෙනාට පහරදී පැහැරගෙන ගොස් ඇති බව සඳහන් වේ.
පැහැරගැනීමට ලක්වූවන්ගෙන් දෙදෙනකු පසුව අත්පා ගැටගසා පෝට් සිටි පරිශ්‍රය තුළ තබා තිබූ වෑන් රථයක් තුළ දමා ගොස් තිබියදී සොයාගෙන ඇති අතර, තෙවැනි පුද්ගලයා වෙනත් ස්ථානයකට පැහැරගෙන ගොස් තිබිණි.
පැය කිහිපයකට පසු, පැහැරගනු ලැබූ එම චීන ජාතිකයාගේ මෘතශරීරය ඇහැලියගොඩ ප්‍රදේශයෙන් සොයාගන්නා ලදී. විමර්ශකයන් පැවසුවේ මියගිය පුද්ගලයාගේ අත්, පය සහ ඇස් ගැටගසා තිබූ අතර, සිරුරට දැඩි ලෙස තුවාල සිදුවී තිබූ බවයි. සිරුර සඟවා තැබීමේ උත්සාහයක් ලෙස ඒ මත ගල් අතුරා තිබූ බවද පොලිසිය අනාවරණය කළේය.
මෘතශරීරය දැනට අවිස්සාවේල්ල රෝහල් මෘතශරීරාගාරයේ තබා ඇත.
වාර්තා සඳහන් කළේ, පැහැරගැනීමට ලක්වන අවස්ථාවේ මියගිය පුද්ගලයා සමග සිටි අනෙක් චීන ජාතිකයන් දෙදෙනා මෘතශරීරය නිල වශයෙන් හඳුනාගැනීම සඳහා අද (24) අවිස්සාවේල්ල රෝහලට කැඳවාගෙන ආ බවයි.
මේ අතර, ඝාතනයට සම්බන්ධ පිරිස් විසින් භාවිත කළ බවට සැකකෙරෙන වාහනයක් ඇහැලියගොඩ ප්‍රදේශයෙන් සොයාගෙන ඇත. ඊට අමතරව මෙම අපරාධයට සම්බන්ධ බවට සැකකෙරෙන සුඛෝපභෝගී ජීප් රථයක් ඊයේ රාත්‍රියේ පාදුක්ක, පහළ බෝපේ ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.
දැනට මෙම විමර්ශන කටයුතු සම්පූර්ණයෙන්ම කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරා ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙම විමර්ශනය පිළිබඳ වාර්තාවක් පොලිස්පතිවරයා වෙත සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙත භාරදීමට නියමිත බවයි. එසේම, පෝට් සිටි පරිශ්‍රය ඇතුළුව කොළඹ ජීවත්වන චීන ජාතිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කොළඹ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර ඇත.
පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව පුරා චීන ජාතිකයන් ඇතුළු විදේශිකයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට හේතු වූ සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා විමර්ශන මාලාවක පසුබිම හමුවේ මෙම සිදුවීම අතිශය සංවේදී මාතෘකාවක් බවට පත්ව ඇත.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකළ වැටළීම්වලදී හමුවූ මෙවැනි සයිබර් වංචා මධ්‍යස්ථාන බොහොමයක් ‘චීන ජාතික සම්බන්ධීකාරකවරුන්’ ලෙස හඳුන්වන පුද්ගලයන්ගේ මෙහෙයවීමෙන් සිදුව ඇති බව බලධාරීන් මීට පෙරද අනාවරණය කරගෙන තිබිණි.
විමර්ශකයන් පෙන්වාදෙන්නේ, විවිධ රටවල් පුරා ව්‍යාප්ත වී ඇති, චීන සංවිධානාත්මක අපරාධ කල්ලි සමග සෘජුව සම්බන්ධ වූ විශාල අන්තර්ජාතික සයිබර් අපරාධ ජාලයක් මේ පිටුපස පවතින බවයි.
පූර්ව විමර්ශන මගින් අනාවරණය කරගත් තොරතුරුවලට අනුව, ඩුබායි ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගත් අපරාධ කණ්ඩායම් විසින් මියන්මාරය, ලාඕසය සහ කාම්බෝජය වැනි රටවල් හරහා ක්‍රියාත්මක වන මහා පරිමාණ අන්තර්ජාල වංචා මෙහෙයවන බවට සැකකෙරේ.
කෙසේවෙතත්, එල්ල වන අන්තර්ජාතික බලපෑම්, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල දැඩි ක්‍රියාමාර්ග සහ මාධ්‍ය මගින් සිදුවන අනාවරණයන් හේතුවෙන් එම රටවල් කිහිපයකම පවත්වාගෙන ගිය මෙහෙයුම්වලට දැඩි බාධා එල්ල වී ඇත. පසුගිය වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් විසින් මෙවැනි සයිබර් අපරාධ මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් වැටළීම් මාලාවක් සිදු කළ අතර, එහිදී විශාල පිරිසක් රටින් පිටුවහල් කිරීමටද කටයුතු කෙරිණි.
විමර්ශකයන් පවසන්නේ මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවලට නිතර සම්බන්ධ වන ප්‍රධානතම සංවිධානාත්මක අපරාධ කල්ලියක් වන්නේ ‘චීන ට්‍රයඩ්ස්’ (Chinese Triads) නමැති අන්තර්ජාතික අපරාධ ජාලය බවයි. චීන භාෂාව කතා කරන ජනගහනයක් සිටින ලොව පුරා ප්‍රධාන නගරවල මෙම අපරාධ කල්ලි සක්‍රීයව ක්‍රියාත්මක වේ.
මීට පෙරද නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් මියන්මාරය සහ අග්නිදිග ආසියානු රටවල අපරාධ මධ්‍යස්ථාන හරහා ප්‍රසිද්ධියට පත් වූ Pig butchering (මහාපරිමාණ සයිබර් වංචා ක්‍රමවේදයක්) නමැති සංකීර්ණ වංචනික ක්‍රමය හඳුනාගෙන තිබිණි.
එම සයිබර් වංචා මාදිලියේ කොටස් මේ වන විට ශ්‍රී ලංකාවටද පිවිස ඇති බවට විමර්ශකයෝ දැන් සැකකරති.
අනාවරණය වෙමින් පවතින සයිබර් වංචා සබඳතාව, අපරාධයේ ඇති සංකීර්ණ ස්වභාවය, සැකකරුවන් රටින් පළායෑයාමට දැරූ උත්සාහය සහ අන්තර්ජාතික සයිබර් වංචා විමර්ශනවල පසුබිම හමුවේ, ශ්‍රී ලංකාවද මෙම දැවැන්තඅන්තර්ජාතික අපරාධ ජාලයේ නව ගැටුම් බිමක් බවට පත්ව තිබේද යන්න පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබේ.
(උපුටාගැනීම – News 1st)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart