October 13, 2026

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ණය වැඩසටහනේ නිල කාලය අවසන්වීමට ආසන්නයේ සිටින පසුබිමක් තුළ ඩොලර් සංචිත ගොඩනැගීමේ නිසි ක්‍රමවේදයක් තිබිය යුතු බවත්, එවැනි ක්‍රමවේදයක් නොමැති වීම ආර්ථිකය හමුවේ පවතින බරපතල අර්බුදයක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.

දේශීය රුපියලේ අගය ස්ථාවරව තබා ගැනීම සඳහා වෙළෙඳපොළට මුදාහරින ඩොලර් ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රටේ ආර්ථිකය හමුවේ ඇති අනෙකුත් මූලික අභියෝග පිළිබඳව ද අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ආර්ථික වර්ධන වේගය මන්දගාමී වීම, ප්‍රාග්ධන වියදම් ප්‍රමාණවත් මට්ටමක නොපැවතීම සහ රුපියල අස්ථාවර වීම එම අභියෝග බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත්, මෙම අර්බුද වත්මන් ආණ්ඩුවට පමණක් සීමා වූ ඒවා නොවන බව ප්‍රකාශ කළ ඔහු, ස්වාධීන බලතල සහිත මහ බැංකුවක් පවතින පසුබිමක, මෙම ගැටලුවලට විසඳුම් ලබා දීමට එම ආයතනය මැදිහත් වන්නේ කෙසේද යන්න පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බව ද අවධාරණය කළේය.