June 23, 2026

අම්බලන්තොට තේරපුත්ත ජාතික පාසලේ පසුගිය මැයි 21 වැනිදා පැවැති ක්‍රීඩා උත්සවය අතරතුරදී පාසල් ශිෂ්‍යාවක බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ වෙනත් පාසලක සිසුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

අම්බලන්තොට පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක අමිල රාජපක්ෂ ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවයි.

අදාළ අපයෝජන සිදුවීම වසන් කිරීමේ සැකය මත විදුහල්පතිවරයා සහ නියෝජ්‍ය විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අදාළ පාසල් ශිෂ්‍යාව රෝහල්ගත කර ඇත.

මෙම සැකකරුවන් තිදෙනා හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත්, සිද්ධියට සම්බන්ධ තවත් කිහිපදෙනකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කර ඇත.

පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම අපයෝජන සිද්ධිය ජංගම දුරකථන මගින් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවයි.

අම්බලන්තොට පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.