May 26, 2026

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් දැනට භාවිත කරනු ලබන විදේශ විනිමය අනුපාතිකය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ වාණිජ බැංකු විසින් ප්‍රකාශයට පත් කර ඇති පවත්නා සාමාන්‍ය වෙළඳපොළ විනිමය අනුපාතිකයට වඩා වැඩි අගයක් ගන්නා බව පවසමින් ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ.

අද (26) දින නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය කියා සිටියේ, 2026 මැයි 25 සිට මැයි 29 දක්වා කාලය තුළ සිදුවන සියලුම රේගු ගනුදෙනු ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් 351.17ක විනිමය අනුපාතිකයක් යටතේ ගණනය කරන බව රේගු දෙපාර්තමේන්තුව ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

මෙම අනුපාතිකය දැනට බැංකු ක්ෂේත්‍රය තුළ පවතින සාමාන්‍ය විනිමය අනුපාතිකයට වඩා බෙහෙවින් වැඩි අගයක් බව එම සංවිධානය පෙන්වා දෙයි.

මහ බැංකුව අන්තර් බැංකු විනිමය මැදිහත්වීම් හරහා ඩොලරයේ අගය අඩු මට්ටමක පවත්වා ගැනීමට උත්සාහ කරන අතරතුර, රජයේ ඉහළම ආදායම් උපයන ආයතනයක් වන රේගු දෙපාර්තමේන්තුව ආනයන කටයුතු සඳහා මෙලෙස ඉහළ විනිමය අනුපාතිකයක් දිගින් දිගටම භාවිත කිරීම පරස්පර විරෝධී බව එම සංවිධානය චෝදනා කරයි.

රේගුව විසින් මෙලෙස ඉහළ විනිමය අනුපාතිකයක් අනුගමනය කිරීම හේතුවෙන් ආනයනික භාණ්ඩවල මිල සෘජුවම ඉහළ යා හැකි අතර, එහි අවසාන බර පාරිභෝගිකයා මත පැටවෙනු ඇතැයි ද එම සංවිධානය අනතුරු අඟවයි.

එබැවින්, පවත්නා සාමාන්‍ය වෙළඳපොළ විනිමය අනුපාතිකයට අනුකූල වන පරිදි රේගු ගනුදෙනු සඳහා භාවිත කරන විනිමය අනුපාතිකය වහාම සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස’ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය මහ බැංකුවෙන් ඉල්ලා සිටියි.

එම සංවිධානයේ කැඳවුම්කරු, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී රජිත් කීර්ති තෙන්නකෝන්ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.