April 24, 2026

විදේශ රටවල සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසකට එරෙහිව ආරම්භ කර ඇති විමර්ශනයකට අනුව එම කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් හත්දෙනකුට විදේශගතවීම වළකාලමින් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න විදේශ ගමන් තහනමක් නිකුත් කළේය.

කොකේන් කිලෝග්‍රෑම් තුනක් පොලිස් භාරයට ගෙන ඇති ගණේමුල්ල බොල්ලත ප්‍රදේශයේ කළ වැටළීමට සම්බන්ධ වූ කොස්තාපල්වරයකු විසින් ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පැවැත්වූ බවට ලැබුණු තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කළ බව පවසමින්, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථනාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ජී.සී. පදුමසිරි කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා අදාළ නිලධාරීන් හත්දෙනාගේ විදේශ ගමන් තහනම් කළේය.

මෙලෙස විදේශ ගමන් තහනම් කරන ලද්දේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ කටයුතු කළ ලින්ටන් ලෙනාඩ් සිල්වා, කසුන් සුභාෂණ, රංජිත් රණසිංහ, මනෝජ් පියදර්ශන හේවාවසම්, තාරක මධුරංග අබේකෝන්, කෝලිත ලක්මාල් රාජපක්‍ෂ සහ ටෙරන්ස් සෙඩ්‍ර්ක් පීරිස් නමැත්තන්ටය.(ලංකාදීප)