August 4, 2023

එංගලන්තයේ ප්‍රහාරාත්මක පිතිකරු ඇලෙක්ස් හේල්ස්  ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කර තිබේ.

ලෝක කුසලාන ජයග්‍රාහකයෙකු ලෙස 20/20 පිටියෙන් සමුගන්නා ඔහු පසුගිය වසරේ නොවැම්බර්යේදී පාකිස්තානයට එරෙහිව MCG හිදී එංගලන්තය වෙනුවෙන් අවසන් වරට ජාත්‍යන්තර 20/20 තරගයකට ක්‍රීඩා කර ඇත.

ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට සමු දුන්නද, ලොව පුරා 20/20 ලීග් තරග සඳහා තවදුරටත් ක්‍රීඩා කරන බව හේල්ස් පවසා තිබේ.

“ආකෘති තුනේම අවස්ථා 156 කදී මගේ රට නියෝජනය කිරීමට ලැබීම පරම වරප්‍රසාදයක්”, හේල්ස් පැවසීය.

“එංගලන්ත ජාතික පිළ තුළ සිටි කාලය පුරාවටම මම ඉහළම මට්ටම් කිහිපයක් මෙන්ම පහත්ම මට්ටම් කිහිපයක් අත්විඳ ඇත්තෙමි. එය ඇදහිය නොහැකි ගමනක් වූ අතර එංගලන්තය වෙනුවෙන් ලෝක කුසලාන අවසන් තරගයක් ජයග්‍රහණය කිරීම ගැන මම සෑහීමකට පත්වෙමි.” හේල්ස් වැඩිදුරටත් පැවසීය.

වසර හතරකට පෙර අවසන් වරට පන්දුවාර 50 එක්දින තරගයක් ක්‍රීඩා කර ඇති හේල්ස් මෙවර ලෝක කුසලානය සඳහා කිසි විටෙක තෝරා ගැනීමට ඉඩ නොතිබුණු නමුත් ලබන වසරේ කැරිබියන් සහ එක්සත් ජනපදයේ දී එංගලන්තයේ T20 ශූරතාව ආරක්ෂා කිරීමේ වගකීම භාරවීමට ඉඩ තිබුණි.

හේල්ස් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය නිමා කරන්නේ ශතක හයක් ඇතුළුව එක්දින ලකුණු 2419 ක් ලබා ගනිමිනි.

එංගලන්තය වෙනුවෙන් 20/20 ජාත්‍යන්තර ලකුණු 2000 ට වඩා රැස් කළ පිතිකරුවන් තිදෙනාගෙන් අයෙක් වන ඔහු සිය එකම ශතකය ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව 2014 ලෝක කුසලාන 20/20 තරගාවලියේදී වාර්තා කර තිබේ.

මීට සතියකට පමණ පෙර එංගලන්ත වේග පන්දු ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීම නිවේදනය කළේය.