March 23, 2026

නිව්යෝර්ක්හි ලාගාඩියා ගුවන් තොටුපොළට ගොඩබස්වන අවස්ථාවේදී එයාර් කැනඩා එක්ස්ප්‍රස් ප්‍රාදේශීය ජෙට් යානයක් ට්‍රක් රථයක ගැටී ඇති අතර, මෙම අනතුර හේතුවෙන් ගුවන් තොටුපොළ වසාදමා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මොන්ට්‍රියල් සිට පැමිණි CRJ-900 වර්ගයේ මෙම යානය, පැයට සැතපුම් 24 ක වේගයකින් වාහනයේ ගැටී ඇති බව වාර්තා පවසයි. මෙම ජෙට් යානය එයාර් කැනඩා සේවයේ හවුල්කරුවෙකු වන ජෑස් ඒවියේෂන් විසින් ක්‍රියාත්මක කරන ලද්දකි.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයකට අනුව, ඇමරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් ග්‍රිනිච් වේලාවෙන් 0530 දක්වා ගුවන් තොටුපොළේ සියලුම ගුවන්යානා සඳහා ගොඩබෑම් නැවැත්වීමේ නියෝගයක් නිකුත් කර ඇත.

ගුවන්තොටුපොළේ කටයුතු අත්හිටුවීමට හේතුව හදිසි අවස්ථාවක් බවත්, එය තවදුරටත් දීර්ඝ වීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවත් ඇමරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වූ නමුත් එහි මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දක්වා නොතිබිණි.

වාර්තා පෙන්වාදුන්නේ, පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා වෙනත් ගුවන් තොටුපොළ වෙත හරවා යවා ඇති බව හෝ ඒවා පිටත් වූ ස්ථානයටම ආපසු ගොස් ඇති බවයි.

එයාර් කැනඩා ආයතනය සහ ඇමරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විදෙස් ජනමාධ්‍ය මේ පිළිබඳව අදහස් දැක්වීම සඳහා කරන ලද ඉල්ලීම්වලට වහාම ප්‍රතිචාර දක්වා නොමැත.