October 23, 2026

පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා ආරක්ෂක නොසන්සුන්තාවන් දැඩි වීමත්, ප්‍රධාන දේශසීමා මාර්ග දිගින් දිගටම වසා තැබීමත් හේතුවෙන් දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ කටයුතු ශීඝ්‍රයෙන් කඩා වැටී ඇති බව වාර්තා වේ.

පාකිස්ථාන-ඇෆ්ගනිස්ථාන ඒකාබද්ධ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ඇෆ්ගනිස්ථාන ශාඛාවේ උප සභාපති මොහොමඩ් යූනුස් මොහ්මන්ඩ් ප්‍රකාශ කළේ, දෙරට අතර පැවැති වෙළෙඳාම මේ වන විට 95% කින් පමණ පහත වැටී ඇති බවයි.

“අපට දැන් පාකිස්ථානය සමඟ කිසිදු වෙළෙඳ ගනුදෙනුවක් සිදුවන්නේ නැහැ. පාකිස්ථානය හරහා සිදුවන අපගේ සංක්‍රමණික වෙළෙඳාම මෙන්ම, ඇෆ්ගනිස්ථානය හරහා මධ්‍යම ආසියාව වෙත සිදුවන පාකිස්ථාන සංක්‍රමණික වෙළෙඳ කටයුතු ද සම්පූර්ණයෙන්ම නතර වී තිඛෙනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පාකිස්ථානයේ ඩෝන් පුවත්පත සඳහන් කළ පරිදි, පාකිස්ථාන වෙළෙඳ සංවර්ධන අධිකාරිය මගින් නිකුත් කරන ලද දත්තවලට අනුව පෙර වසරට සාපේක්ෂව 2026-27 වර්ෂයේදී දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම 95% කින් පහත වැටී ඇත.

තවද, 2024-25 මුදල් වර්ෂයේදී ඩොලර් බිලියන 1.3 ක් ලෙස සටහන් වූ ද්විපාර්ශ්වික වෙළෙඳාම, 2025-26 මුදල් වර්ෂයේදී ඩොලර් මිලියන 358 දක්වා 74% කින් පමණ පහත වැටී තිබූ බව ද එම සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

2025 ඔක්තෝබර් 12 වන දින පාකිස්ථාන ආරක්ෂක බලකායන් සහ ඇෆ්ගන් තලේබාන් සංවිධානය අතර ඇති වූ මාරාන්තික ගැටුම්වලින් අනතුරුව පාකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථානය සමඟ පවතින ප්‍රධාන දේශසීමා මාර්ග වසා දැමීමට පියවර ගන්නා ලදී.

ඇෆ්ගනිස්ථාන භූමිය තුළ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කණ්ඩායම්වලට එරෙහිව තලේබාන් පාලනය සුදුසු පියවර ගන්නේ නම් පමණක් දේශසීමා නැවත විවෘත කිරීමට සූදානම් බව පාකිස්ථාන රජය ප්‍රකාශ කර තිබුණි.

පාකිස්ථානය තුළ සිදුවන ප්‍රහාරයන්හි වගකීම භාරගන්නා ‘තෙහ්රීක්-ඊ-තලේබාන් පාකිස්ථාන්’ (TTP) සංවිධානයට ඇෆ්ගන් තලේබාන් පාලනය සහයෝගය ලබාදෙන බවට පාකිස්ථාන බලධාරීන් චෝදනා කිරීමත් සමඟ දෙරට අතර සබඳතා තවදුරටත් පළුදු විය.

තලේබාන් පාලනය විසින් කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමකට සෙවන නොදෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළද, එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ තලේබාන් සංවිධානය තවදුරටත් TTP සංවිධානයට සහාය දක්වන බවයි.