July 1, 2026

දෙරට අතර දේශසීමා කලාපයේ ස්ථාන කිහිපයකට පකිස්තානය එල්ල කළ බෝම්බ ප්‍රහාර මාලාවක් හේතුවෙන් සිවිල් වැසියන් රැසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ඇෆ්ගනිස්ථාන බලධාරීන් පවසයි.

ඉකුත් ඉරිදා එල්ල වූ මෙම ප්‍රහාර මාලාව තලේබාන් පාලනය විසින් හැඳින්වූයේ ම්ලේච්ඡ අපරාධයක් ලෙසිනි.

“ආක්‍රමණශීලී පිළිවෙතක් අනුගමනය කරන පකිස්තාන හමුදාව, නැවත වරක් පක්තිකා ප්‍රාන්තයේ ගියාන් දිස්ත්‍රික්කයටත්, පක්තියා ප්‍රාන්තයේ චම්කානි දිස්ත්‍රික්කයටත්, කුනර් ප්‍රාන්තයේ මනෝගයි දිස්ත්‍රික්කයටත් සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙයින් කාන්තාවන් සහ ළමුන් ඇතුළු සිවිල් වැසියන් රැසකගේ ජීවිත අහිමි වී ඇති අතර තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබෙනවා,” යැයි තලේබාන් රජයේ නියෝජ්‍ය ප්‍රකාශක හම්දුල්ලා ෆිට්රාට් සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කනගාටුව පළ කළේය.

මෙම ලාමක ආක්‍රමණශීලී ක්‍රියාව තදින්ම හෙළා දකින බව අවධාරණය කළ තලේබාන් ප්‍රකාශකයා, එය ම්ලේච්ඡ අපරාධයක් බව යළිත් කියා සිටියේය.

ඔහු මෙම ප්‍රකාශය සමඟ කුඩා ළමුන් ඇතුළු විවිධ වයස් කාණ්ඩවල තුවාල ලැබූවන්ගේ ඡායාරූප ද ප්‍රසිද්ධියට පත් කර තිබුණි.

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශයට පැය කිහිපයකට පෙර පකිස්තාන තොරතුරු අමාත්‍ය අටාවුල්ලා තාරර් කියා සිටියේ, විශ්වාසවන්ත බුද්ධි තොරතුරු මත පදනම්ව සෙනසුරාදා රාත්‍රියේ සහ ඉරිදා අලුයම රටේ ආරක්ෂක අංශ විසින් නිරවද්‍ය ප්‍රහාර මාලාවක් දියත් කළ බවයි.

මෙම ප්‍රහාර එල්ල වූයේ ‘ජමාත් උල් අහ්රාර්’ සහ ‘ෆිට්නා අල් ජුවාරිජ්’ යන ත්‍රස්තවාදී කඳවුරු සහ සැඟවුණු ස්ථාන ඉලක්ක කරගෙන බවත්, ප්‍රහාරවලින් ත්‍රස්තවාදීන් “25 දෙනෙකු මියගිය බවත් ඔහු කියා සිටියේය.

“කලාපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට පකිස්තානය නිරන්තරයෙන් කැපවී සිටිනවා. නමුත් ඒ සමඟම අපගේ පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අප කිසිසේත් සම්මුතීන් ඇති කර ගන්නේ නැහැ. එය අපගේ ප්‍රමුඛතම වගකීමක්,” යැයි තාරර් අවධාරණය කළේය.

පකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර දේශසීමා තීරය වසර ගණනාවක සිටම දැඩි නොසන්සුන්තාව සහ අස්ථාවරත්වය පවතින කලාපයක් බවට පත්ව ඇත.