June 10, 2026

පකිස්ථාන හමුදාව ඇෆ්ගනිස්ථානයේ පළාත් තුනකට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ළමුන් 11 දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් ප්‍රකාශ කළේය.

මෙම ප්‍රහාරයත් සමඟ මේ වසර තුළ සිය ගණනකට ජීවිත අහිමි කළ දෙරට අතර පවතින දේශසීමා ගැටුම් යළිත් උත්සන්න වී තිබේ.

ඇෆ්ගනිස්ථාන ගුවන් සීමාව උල්ලංඝනය කරමින් කුනර්, ඛොස්ට් සහ පක්තිකා යන පළාත්වල සිවිල් වැසියන්ගේ නිවාස ඉලක්ක කර ගනිමින් පකිස්ථාන බලධාරීන් මෙම බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉන් තවත් කාන්තාවන් සහ ළමුන් ඇතුළු 14 දෙනෙකු තුවාල ලබා ඇති බව ද මුජාහිඩ් වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පිළිබඳව පකිස්ථාන හමුදාව හෝ රජය මෙතෙක් නිල ප්‍රකාශයක් කර නොමැති වුවද, ආරක්ෂක අංශ නිලධාරීන් රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ “පකිස්ථානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා එරට සටන්කාමීන් භාවිත කරන සැඟවුණු ස්ථාන සහ අනෙකුත් මධ්‍යස්ථාන” ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කළ බවයි.

පකිස්ථානයට එරෙහිව ප්‍රහාර සැලසුම් කරන සටන්කාමීන්ට ඇෆ්ගනිස්ථානය රැකවරණය ලබා දෙන බවට ඉස්ලාමාබාද් පාලනය දිගින් දිගටම චෝදනා කරයි. කෙසේ වෙතත්, තලේබාන් සංවිධානය එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, පකිස්ථානය තුළ පවතින සටන්කාමීත්වය එරට අභ්‍යන්තර ගැටලුවක් පමණක් බව අවධාරණය කරයි.

පසුගිය පෙබරවාරි මාසයේදී මෑත ඉතිහාසයේ දරුණුතම ගැටුමකට මුහුණ දුන්, කලින් මිතුරන්ව සිට පසුව සතුරන් බවට පත් වූ පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තාවකාලික සාමය බිඳ දැමීමට මෙම නව ප්‍රහාර මාලාව හේතු වී තිබේ.

චීනයේ මැදිහත් වීම මත, මෙම ගැටුම නිරාකරණය කරගැනීම සඳහා දෙරටම පසුගිය මාර්තු මාසයේදී බිඳෙනසුලු සටන් විරාමයකට එකඟ වී තිබුණි.