March 21, 2026

හොලිවුඩ් හි සුප්‍රකට සටන් නළුවකු වූ චක් නොරිස් වයස අවුරුදු 86 දී මියගොස් ඇත.

නොරිස් බ්‍රහස්පතින්දා (19) හවායි හිදී රෝහල්ගත කර ඇති අතර, ඔහුගේ පවුලේ ඥාතීන් විසින් සිකුරාදා (20) ඔහුගේ මරණය නිවේදනය කෙරිණි.

පුහුණුව ලත් සටන් කලාකරුවකු වන නොරිස් කරාටේ, ටැන්ග් සූ ඩෝ සහ ටයිකොන්ඩෝ ඇතුළු බොහෝ සටන් විෂයයන් සඳහා කළු පටි හිමිකර ගත්තේය.

ඔහු බෲස් ලී සමඟ පුහුණුව ලැබූ අතර 1972 දී තිරගත වූ ද වේ ඔෆ් ද ඩ්‍රැගන් චිත්‍රපටයේ ඔහු සමඟ පෙනීසිටියේය.

සටන් කලාවන් පිළිබඳ පුහුණුව ලබා ඇති නළු ස්ටීව් මැක්වීන් විසින් දිරිමත් කරන ලද නොරිස් චිත්‍රපටවලට පිවිසි අතර ලෝන් වුල්ෆ් මැක්කේඩ් (1983) චිත්‍රපටය සමඟ වඩාත් ජනප්‍රියත්වයට පත්විය.

ඔහු Missing in Action (1984), Code of Silence (1985) සහ The Delta Force (1986) ඇතුළු ක්‍රියාදාම චිත්‍රපට මාලාවක රඟපෑ අතර 1980 දශකයේ ක්‍රියාදාම සිනමාවේ කැපී පෙනෙන චරිතයක් බවට පත්විය.

පසුව නොරිස් ටෙක්සාස් රේන්ජර් හි ‘කෝඩෙල් වෝකර්’ ලෙස රූපවාහිනියේ පුළුල් ජනප්‍රියත්වයක් ලබා ගත් අතර එය 1993 සිට වාර නවයක් පුරා රුපවාහිනියේ විකාශය විය.