August 21, 2023

සමාජ මාධ්‍ය ගිණුම් හරහා පුද්ගලයන් වෙත භාණ්ඩ සහ තෑගි ලබාදීමට නාඳුනන බැංකු ගිණුම්වලට මුදල් මාරුකරන ලෙස ඉල්ලා රේගු නිලධාරීන් මෙන් පෙනීසිටින වංචාකරුවන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා රේගුව මහජනතාවට අනතුරු ඇඟවා ඇත.

විදේශගතව සිටින අය විසින් පුද්ගලයන් වෙත ත්‍යාග සහ භාණ්ඩ එවන බව පවසමින් රවටා ඇති අවස්ථා සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළ මහජන පැමිණිලිවලින් ඔවුන්ගේ ක්ෂණික දුරකථන පිරී ගිය බව රේගු මාධ්‍ය ප්‍රකාශක සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සුදත්ත සිල්වා පවසයි.

බහුලවම ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම් හරහා මෙම වංචනිකයන් සඳහන් කර ඇත්තේ, එම පුද්ගලයන් ඩොලර් දහස් ගණනක තෑග්ගක් හෝ ලොතරැයියක් දිනාගෙන ඇති බවයි.

එමෙන්ම ඔවුන් එම භාණ්ඩ ලබාගැනීමට කැමැත්තක් දක්වන විට, තමන් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් යැයි කියාගන්නා නාඳුනන පුද්ගලයන් ඔවුන් අමතා රේගු නිෂ්කාශන ගාස්තු ලෙස විශාල මුදලක් ගෙවන ලෙස ඉල්ලා සිටින බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

බොහෝ අවස්ථාවලදී වංචනිකයන් එම පුද්ගලයන්ට උපදෙස් දී ඇත්තේ, මෙම නොදන්නා බැංකු ගිණුම් වෙත රුපියල් 50,000,75,000 හෝ රුපියල් 100,000 දක්වා මුදල් බැර කරන ලෙසය.

මෙම වංචනිකයන්ට හසු වූ පුද්ගලයන්ගෙන් පැමිණිලි 50කට වඩා තමන්ට ලැබී ඇතැයි ඔහු සඳහන් කරයි.

එමෙන්ම ඔවුන් මේ වනවිටත් වංචනිකයන්ට මුදල් ගෙවා ඇති අතර, ඔවුන්ගේ තෑග්ග සොයා ගැනීමට උපකාර ලබා ගැනීමට ඔවුන් තමා හා මෙසේ සම්බන්ධ වී ඇති බව හෙතෙම පවසයි.

විදේශගතව සිටින මිතුරෙක්ගෙන් හෝ ඥාතියෙක්ගෙන් පැකේජයක් ලැබුණු බව පැවසීමට සහ එය රේගුවෙන් නිෂ්කාශනය කිරීම සඳහා මුදල් ගෙවීමක් කිරීම වැනි ක්‍රම රාශියක් හරහා මෙම වංචාකරුවන් ක්‍රියාත්මක වේ.

එමෙන්ම ශ්‍රී ලංකා රේගුව කිසිවිටෙක නොදන්නා බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ඒ සඳහා කිසියම් පුද්ගලයෙක්ට කතා කරන ලෙස ඉල්ලා නොසිටින බව ඔහු පවසයි.

එවැනි සැකකටයුතු ඇමතුම්කරුවෙක් අමතන්නේ නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කරන මෙන් ද ඔහු ජනතාවගෙන් ඉල්ලයි.

පසුගිය දශකයක පමණ කාලයක සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මෙම වංචාවන් සිදු වූ අතර, බොහෝවිට එම ක්‍රියාවන්ට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නයිජීරියානුවන් වගකිව යුතු බවට හේතුවී ඇත.

එහෙත් සමාජ මාධ්‍ය, මාර්ගගත ගෙවීම් පහසුකම් ආදිය සමඟින් තාක්‍ෂණය දියුණු වීමත් සමඟ බොහෝ පිරිස් මෙයට සම්බන්ධ වී ඇති බව නවතම පරීක්‍ෂණවලින් හෙළි වී තිබෙන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.