August 16, 2023

වීසා ලබාගැනීම, විදේශ රැකියා සදහා අයැදුම් කිරීම වැනි විවිධ කාර්‍යයන් සදහා ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කරන පුද්ගලයන් සහ ආයතන පිළිබඳ තොරතුරු ලැබී ඇති බව, ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව පවසයි.

අර්ධ වාර්ෂික ප්‍රකාශ, ශේෂය සනාථ කිරීමේ ලිපි ආදියෙහි සත්‍යතාව තහවුරු කරන ලෙස රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවලින් සහ වෙනත් විවිධ ආයතනවලින් ඉල්ලීම් රැසක් ලැබී ඇති බව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව පවසයි.

එම ලේඛනවල සත්‍යයතාව පිළිබඳ ඇති වූ සැකයක් හේතුවෙන් මෙම පියවර ගත් බව සදහන් වේ.

එම දෙපාර්තමේන්තුවේ අධිකාරී ඒ.ජී.යූ. තිලකරත්න නිවේදනයක් නිකුත් කර ඇත්තේ , විදේශ රැකියා සදහා අයදුම් කිරීමේ දී ස්ථිර රැකියා හෝ සේවා පළපුරුද්ද සනාථ කිරීම සදහා විවිධ රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා සම්බන්ධ ප්‍රසම්පාදන සදහා ලංසු ලියකියවිලි සමග ඉදිරිපත් කිරීම සදහා වීසා ලබාගැනීම සදහා මෙලෙස ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

තවද ඇතැම් පුද්ගලයන් සහ සංවිධාන ව්‍යාජ ආයතනික නම්, ලිපිනයන්, සාමාජික අංක, සාමාජික නම් සහ සාමාජික දායක මුදල් පිළිබඳ ඇතුළත් ව්‍යාජ ලේඛන සකස්කර ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවට නිරීක්ෂණය වී ඇති බව සදහන් වේ.