October 24, 2026

ගල්අඟුරු මිලදීගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ලබන සඳුදා (25) පෙනීසිටින ලෙස දන්වා හිටපු බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවකට නොතීසි නිකුත් කර තිබේ.

පසුගිය කාලය තුළ කොමිසම හමුවේ ලබා දී ඇති සාක්ෂි කිහිපයක් පදනම් කරගනිමින්, චම්පික රණවක මෙම පරීක්ෂණයේදී නොතීසි ලැබූ පාර්ශ්වයක් ලෙස නම්කිරීමට කොමිෂන් සභාව තීරණය කර ඇත.

නැව් සංස්ථාවේ හිටපු සභාපතිවරයකු ඇතුළු සාක්ෂිකරුවන් කිහිපදෙනකු විසින් මතුකරන ලද කරුණු මෙම තීන්දුවට හේතු වී තිබේ.

මීට අමතරව, කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් මෛත්‍රී ගුණරත්න ද පාඨලී චම්පික රණවකගේ නම සඳහන් කරමින් කරුණු ඉදිරිපත් කර ඇති අතර, අමාත්‍යාංශයේ හිටපු ලේකම් බටගොඩ සම්බන්ධයෙන්ද කරුණු අනාවරණය වී ඇත.

මහින්ද රාජපක්ෂ සහ යහපාලන ආණ්ඩු සමයේ බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වකවනුවේ ගල්අඟුරු මිලදී ගැනීමේදී කැබිනට් අනුමැතියකින් තොරව කටයුතු කරන ලෙස උපදෙස් දී ඇති බවට සාක්ෂිකරුවකු විසින් කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇති බවද සඳහන් වේ.

2025 වර්ෂය සඳහා දීර්ඝකාලීනව ගල්අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ බාල ගල්අඟුරු ගෙන්වීමේ ගැටළුවක් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ,අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ,මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න ප්‍රධානත්වයෙන් මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත්කරනු ලැබීය.

මේ වන විට පුද්ගලයන් 20 කට ආසන්න පිරිසක් නොතීසි ලැබූ පාර්ශ්වයන් ලෙස නම්කර ඇති අතර, ඔවුන්ගෙන් සාක්ෂි සහ ප්‍රකාශ ලබා ගැනීමේ කටයුතු ඉදිරියටත් ක්‍රියාත්මක වේ.