April 26, 2026

තම නිලධාරීන් ලෙස පෙනීසිටින පුද්ගලයන් කණ්ඩායමක් විසින් සිදුකරනු ලබන මූල්‍ය වංචාවක් පිළිබඳව විමසිලිමත් වන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මහජනතාවට අනතුරු අඟවයි.

මූල්‍ය වංචා සිදු කිරීම සඳහා පුද්ගලයන්ගේ පුද්ගලික තොරතුරු ලබාගැනීම වෙනුවෙන් වංචනික පුද්ගලයන් පිරිසක් තම දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය වන 0115226126 භාවිතා කරන බව නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව පවසයි.

වංචනික ඇමතුම්වලට සම්බන්ධ අනෙකුත් දුරකථන අංක වන්නේ +9411522612’ සහ +0115226126 මෙන්ම 0771167739 සහ 0742756098 ය.

මෙම කණ්ඩායම රාජ්‍ය ලාංඡනය සහිත ජංගම යෙදුමක් සකස් කර ඇති අතර, ඩිජිටල් හැඳුනුම්පතක් හෝ විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් සඳහා ලියාපදිංචි වීමට පහසුකම් සලසන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරමින් දෙපාර්තමේන්තුවේ නම අනිසි ලෙස භාවිතා කරනු ලබයි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිශ්චිතවම එවැනි ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියක් සිදුනොකරන බවත්, නිල ක්ෂණික ඇමතුම් අංකයට සමාන අංක හරහා හෝ දෙපාර්තමේන්තු වෙබ් අඩවියට සමාන වංචනික “https://drpgov-lk.com” වෙබ් අඩවිය හරහා සම්බන්ධ වුවහොත් එවැනි තොරතුරු බෙදාගැනීමෙන් වළකින ලෙසත් දෙපර්තම්නේතුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් හෝ කිසිදු ආකාරයක ඩිජිටල් හැඳුනුම්පතක් සඳහා ලියාපදිංචි කිරීමක් දැනට සිදුනොවන බවත්, එවැනි වංචනික ක්‍රියාකාරකම්වලට එරෙහිව අවදියෙන් සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් දෙපාර්තතමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.