November 2, 2026

‘WECare Worldwide’ ආයතනයේ නිර්මාතෘවරිය වන බ්‍රිතාන්‍ය ජාතික පශු වෛද්‍ය ජේනි ලෝව්ස්, මෙරට වීදි සුනඛයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් වූ නව සත්ව රෝහලක් වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාව හරහා කිලෝමීටර් 621ක දුරක් දිවීමේ මෙහෙයුමක් සාර්ථකව නිම කර තිබේ.

ශ්‍රී ලංකාවේ උතුරු කෙළවර වන පේදුරුතුඩුවේ සිට දකුණු කෙළවර වන දෙවුන්දරතුඩුව දක්වා, රටේ කඳුකර ප්‍රදේශ හරහා ගමන් කරමින් ඇය මෙම අභියෝගාත්මක ගමන සම්පූර්ණ කළාය.

ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත පවුම් මිලියන 1.6ක් වටිනා නව සත්ව රෝහලක් සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින්, ‘Dog Jog’ (ඩොග් ජොග්) ලෙස නම් කරන ලද මෙම වැඩසටහන ඔක්තෝබර් 9 වැනි දින ආරම්භ කෙරිණි.

තම අභියෝගය සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ලෝව්ස් සඳහන් කළේ, මෙය සිය ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් වූ බවයි. එමෙන්ම මෙම දුෂ්කර ගමනේ අවසාන අදියරයන්හිදී තමන්ට ශක්තියක් වූ සියලුම මිතුරන්ට ඇය සිය හෘදයාංගම ස්තූතිය පුද කර සිටියාය.

“මම ශ්‍රී ලංකාවේ උතුරු කෙළවරේ සිට මධ්‍යම කඳුකරය හරහා මගේ නිවෙස පිහිටි දකුණු කෙළවර දක්වා කිලෝමීටර 621 ක් දිව ආවා. මටම මේ ගැන අදහාගන්නත් බෑ,” ඇය පැවසුවාය.

තම ගමන දැඩි ලෙස අභියෝගාත්මක වූ බව පැවසූ ඇය, “මෙය මගේ ජීවිතයේ අමතක නොවන අසිරිමත් නිමාවක්. ඔබ සැවොම නිසා අද දිනය මට කිසිදා, කිසිම දිනෙක අමතක වන එකක් නැහැ,” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළාය.

එංගලන්තයේ ඩර්හැම් ප්‍රන්තයේ බානාඩ් කැස්ල් හි උපත ලද ජේනි ලෝව්ස්, ශ්‍රී ලංකාවේ අසරණ සහ තුවාල ලැබූ වීදි සතුන් වෙනුවෙන් සේවය කිරීම සඳහා එක්සත් රාජධානියේ ගත කළ සිය සුඛෝපභෝගී ජීවිතය කැප කිරීමට තීරණය කළාය.

ඇය විසින් ආරම්භ කරන ලද ‘WECare Worldwide’ සූනඛ සුබසාධන සංවිධානය මගින් ශ්‍රී ලංකාවේ වීදි සුනඛයන් උදෙසා නොමිලේ පශු වෛද්‍ය ප්‍රතිකාර, වන්ධ්‍යකරණ මෙහෙයුම් සහ ජලභීතිකා මර්දන එන්නත් ලබාදීමේ පුණ්‍ය කටයුතු නිරන්තරයෙන් සිදුකරනු ලබයි.