September 25, 2026

2026 නොවැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, නියමිත විශේෂිත කටයුතු හා ගනුදෙනු සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනුව, 2023 දෙසැම්බර් 31 වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ, හෝ 2024 ජනවාරි 01 වන දිනට හෝ ඊට පසුව අවුරුදු 18 සම්පූර්ණ වන සියලුම නේවාසික පුද්ගලයන් එම වයසට පැමිණි පසු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබාගැනීම අනිවාර්ය වේ.

සංශෝධිත 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 102(3) වගන්තිය යටතේ නිකුත් කරන ලද, 2023 මැයි 31 දිනැති අංක 2334/21 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුකූලව මෙම පියවර ගෙන ඇත.

මේ අනුව, TIN අංකය සඳහා ලියාපදිංචි වන සෑම තැනැත්තකුටම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් TIN සහතිකයක් නිකුත් කරනු ලබයි.

2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මගින් හඳුන්වා දෙන ලද විධිවිධානවලට අනුව, දේශීය ආදායම් පනතේ 102(3) වගන්තිය යටතේ සඳහන් කර ඇති සෑම තැනැත්තකුම 2026 නොවැම්බර් 01 වන දින සිට පහත සඳහන් කටයුතු හා ගනුදෙනු සිදු කිරීමේදී වලංගු TIN සහතිකයක් ඉදිරිපත් කළ යුතු බව දෙපාර්තමේන්තුව මහජනතාව වෙත වැඩිදුරටත් දැනුම් දෙයි:

ඕනෑම බැංකුවක හෝ මුල්‍ය ආයතනයක ගිණුමක් ආරම්භ කිරීම

ගොඩනැගිලි සැලසුම් සඳහා අනුමැතිය ලබාගැනීම

මෝටර් රථ වාහනයක් ලියාපදිංචි කිරීම

මෝටර් රථ වාහන ආදායම් බලපත්‍රය අලුත් කිරීම

ඉඩමක් හෝ ඉඩමක හිමිකම් ලියාපදිංචි කිරීම

ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගමක කොටස් පැවරීම (පවරන්නා සහ පැවරීම් ලබන්නා යන දෙදෙනාම විසින්)

ණය පතක් (Credit Card) ලබාගැනීම