October 4, 2026

පසුගියදා පැවැති ඡණ්ඩ මාරුත සහිත කාලගුණයත් සමඟ, සාගරයේ වෙසෙන දුර්ලභ සුදුපිට කැඩැත්තා (White-tailed Tropicbird) නමැති මුහුදු පක්ෂියකු රත්නපුර, ගොළුවාවිල ප්‍රදේශයට අනපේක්ෂිත ලෙස ගසාගෙන ඇවිත් සිටියදී හමු වී ඇත.

තද සුළඟ හේතුවෙන් මෙම පක්ෂියා තම සාගර වාසස්ථානයෙන් මිදී ගොඩබිම අභ්‍යන්තරයට ගසාගෙන එන්නට ඇති බව විශ්වාස කෙරේ. සුදු පැහැති සිරුර, තටුවල ඇති කළු සලකුණු, කහ පැහැති හොට සහ දිගු සුදු පැහැති වල්ගය මෙම පක්ෂියාගේ විශේෂ ලක්ෂණ වේ.

‘Phaethon lepturus’ යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මොවුහු මාලදිවයින වැනි නිවර්තන දූපත්වල බිජුලන අතර, මසුන් සහ දැල්ලන් ආහාරයට ගනිමින් විවෘත සාගරයේ ජීවත් වෙති.

පක්ෂිවේදී මොදිත හිරණ්‍ය කොඩිකාරච්චි සඳහන් කරන්නේ, මොවුන් ශ්‍රී ලංකාවට අලුතින් පැමිණෙන දුර්ලභ අමුත්තන් වන අතර, දකුණු වෙරළබඩ ප්‍රදේශවලදී ද කලාතුරකින් දක්නට ලැබෙන බවයි.

දේශගුණික විපර්යාස සහ නිතර ඇතිවන දැඩි කුණාටු සහිත කාලගුණය මෙවැනි මුහුදු පක්ෂීන්ට දැඩි තර්ජනයක් වී ඇත. මුහුදු උෂ්ණත්වය ඉහළ යාම නිසා ආහාර සොයා ගැනීමට දුර බැහැර යාමට සිදුවීම, සුළං රටා වෙනස් වීම සහ කුණාටු නිසා වාසස්ථාන අහිමි වී මෙලෙස ගොඩබිමට ගසාගෙන ඒම වැනි අභියෝගවලට මොවුහු මුහුණදෙති.

තනි පක්ෂියෙකු මෙලෙස අනාථ වීම සෘජුවම දේශගුණික විපර්යාසවලට සම්බන්ධ කළ නොහැකි වුවද, වෙනස් වන සාගර පරිසරය ලොව පුරා මුහුදු පක්ෂීන්ට දැඩි තර්ජනයක් බව විද්‍යාඥයෝ පෙන්වාදෙති.