June 5, 2026

අන්තර්ජාතික මුහුදු සීමාවේ ධීවර රැකියාවේ නිරතව සිටි ලාංකික ධීවරයින් පිරිසක් දැවැන්ත මෝර ප්‍රහාරයකට ලක්ව ඇති අතර, ඉන් එක් ධීවරයෙකු මුහුදට වැටී අතුරුදහන්ව ඇති බවත් තවත් අයෙකු තුවාල ලබා ඇති බවත් අදාළ ධීවර යාත්‍රාවේ හිමිකරු පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මුහුදට වැටී අතුරුදහන් වී ඇත්තේ මහවැව ප්‍රදේශයේ පදිංචි මනෝජ් දිල්රුවන් පීටර්සන් නැමැති 26 හැවිරිදි විවාහක තරුණයෙකි.

පසුගිය අප්‍රේල් මස 24 වැනිදා වෙන්නප්පුව, වෙල්ලමංකරය ධීවර වරායෙන් ධීවරයන් හත්දෙනකු සමඟ ‘සංජන පුතා 13’ නමැති බහුදින ධීවර යාත්‍රාව රැකියා කටයුතු සඳහා මුහුදු ගොස් තිබේ.

යාත්‍රාවේ හිමිකරුවන් පවසන පරිදි, පසුගිය මැයි 30 වැනිදා අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඔවුන් මෙම අනතුරට මුහුණ දී ඇත.

ධීවරයන් මසුන් මැරීමේ නිරතව සිටියදී දැවැන්ත මෝරකු දැලට හසුවී ඇති අතර, ඌ බේරීමට යෑමේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

මෝරා විසින් එක් ධීවරයෙකුගේ ඇඟිල්ලක් සපා කා බරපතළ තුවාල සිදුකර ඇත.

ප්‍රහාරයත් සමඟ මෝරා දැලෙන් ගැලවී නැවත මුහුදට පැන ඇති අතර, ඒ සමඟම යාත්‍රාවේ ඇති වූ දැඩි තෙරපීම සහ කලබලකාරී ස්වභාවය හේතුවෙන් 26 හැවිරිදි මනෝජ් දිල්රුවන් නමැති ධීවරයා නොසිතූ ලෙස එකවරම මුහුදට වැටී අතුරුදහන් වී තිබේ.

අතුරුදහන් වූ ධීවරයා සෙවීම සඳහා සහ තුවාලකරුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කිරීමට යාත්‍රා හිමිකරුවන් පියවර ගෙන ඇත.