September 24, 2026

දරුවන් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී ඔවුන්ගේ ගෞරවය, පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා ජාතික මාධ්‍ය උපදෙස් මාලාවක් සකස් කර ඇති බව කාන්තාවන් සහ ළමුන් පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට දැනුම් දී තිබේ.

කාන්තාවන් සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ සභාපතිත්වයෙන් සැප්තැම්බර් 22 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැති කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා වී තිබේ.

වාර්තාකරණයේ නිවැරදිභාවය සහ සාධාරණත්වය පවත්වා ගන්නා අතරම, දරුවන්ගේ උපරිම යහපත තහවුරු කිරීම මෙම උපදෙස් මාලාවේ අරමුණයි.

එමෙන්ම මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය හරහා දරුවන් සහ ඔවුන්ගේ පවුල් අනවශ්‍ය ලෙස ප්‍රසිද්ධියට පත්වීම වැළැක්වීමට ද මෙයින් අපේක්ෂා කෙරේ.

ජනමාධ්‍ය වාර්තාකරණයේදී ආබාධිත දරුවන්ගේ ගෞරවය සහ අයිතිවාසිකම් සුරැකීමේ අවශ්‍යතාව ද කාරක සභාව විසින් මෙහිදී වැඩිදුරටත් පෙන්වාදී ඇත.

මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන, සසුත් නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගී වී තිබේ.