June 18, 2026

යාපනය – මහනුවර ප්‍රධාන මාර්ගයේ පූනෑව ප්‍රදේශයේදී බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් 56 හැවිරිදි පාසල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

අනතුර සිදුව ඇත්තේ අද (18) උදෑසන කාලයේදීය.

මහනුවර සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) අයත් බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මෙම ගැටීමෙන් පසු යතුරුපැදියේ ගමන් කළ කාන්තාව බස් රථයේ පසුපස රෝදයට යටවීමෙන් බරපතළ තුවාල ලබා එම ස්ථානයේදීම මියගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පූනෑව ගල්කන්දේගම විද්‍යාලයට අනුයුක්තව සේවය කළ ගුරුවරියකි.

මියගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා වවුනියාව රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ලංගම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පූනෑව පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මකය.