August 22, 2025

ලියාපදිංචි වන දේශපාලන පක්ෂ සංඛ්‍යාව වැඩි වැඩියෙන් ගැටළු ඇති කරන බැවින්, දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ දී යම් සීමාවන් පැනවීම සඳහා පාර්ලිමේන්තුවට සංශෝධන යෝජනා කිරීමේ හැකියාව පිළිබඳ මැතිවරණ කොමිසම දැනට අධ්‍යයනය කරමින් සිටින බව වාර්තා වේ.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසුවේ, 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ, සෑම ජනවාරි මාසයකම දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට කොමිසමට නීත්‍යනුකූලව සිදුවන බවයි.

කෙසේවෙතත්, මැතිවරණයක් පැවැත්වෙන්නේ නම්, එම මැතිවරණය අවසන් වන තෙක් ක්‍රියාවලිය අත්හිටුවිය යුතු බව ඔහු පැවසීය.

“මේ වසරේ ජනවාරි මාසයේදී අපි අයදුම්පත් කැඳවූවා, නමුත් පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ක්‍රියාවලිය නතර කළා. අපි දැන් ඒ වැඩ කටයුතු කරගෙන යනවා, ලබන වසරේ (2026) ජනවාරි මාසයේදී අපට නැවතත් අයදුම්පත් කැඳවීමට සිදුවනවා.” යැයි ඔහු පැවසීය.

වැඩි වන දේශපාලන පක්ෂ සංඛ්‍යාව විවිධ ගැටළු ඇති කර ඇති බව ඔහු සඳහන් කළේය.

“දැනට ලියාපදිංචි දේශපාලන පක්ෂ 86ක් තිබෙනවා. මේ වසරේ පමණක් නව අයදුම්පත් 80කට වඩා ලැබුණා. අනවශ්‍ය ලෙස දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම ගැටලුවක්. විසඳුමක් ලෙස, දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේදී යම් සීමාවන් පැනවීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළ හැකිද යන්න අපි දැනට අධ්‍යයනය කරමින් සිටිනවා. නමුත්, මෙය පහසු කාර්යයක් නෙවෙයි, මොකද දේශපාලන අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර තිබෙනවා, පක්ෂ ලියාපදිංචිය එම අයිතිවාසිකම්වල මූලික අංගයක්.” යනුවෙන් ඔහු පැහැදිලි කළේය.

තවදුරටත් අදහස් දක්වමින් රත්නායක පෙන්වා දුන්නේ බොහෝ පක්ෂ කිසිදු අර්ථවත් ක්‍රියාකාරකමක නිරත නොවී ලියාපදිංචි වී ඇති බවයි.

“සමහර දේශපාලන පක්ෂ සැබවින්ම දේශපාලනයේ යෙදීමට පිහිටුවා තිබුණත් අනෙක් ඒවා වෙනත් යම් යම් හේතූන් මත පිහිටුවා තිබෙනවා. මැතිවරණ කාලවලදී, ප්‍රධාන දේශපාලන පක්ෂ කුඩා පක්ෂ ඔවුන්ගේ ගාලට ඇද ගන්නවා, සමහර විට ගනුදෙනු හරහා. පක්ෂ සංකේත ද ඉහළ මිලකට මිලදී ගෙන විකුණනවා. ලියාපදිංචි පක්ෂවලින් තවත් සැළකිඅ යුතු සංඛ්‍යාවක් අක්‍රියව තිබෙන්නේ. කෙසේවෙතත්, ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීමට අපට බලයක් නැහැ” යැයි ඔහු සඳහන් කළේය.

2025 වසරට ලියාපදිංචි කිරීමට අයදුම් කරන නව දේශපාලන පක්ෂ සඳහා සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසම මෑතකදී ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ පෙබරවාරි මාසයේදී අයදුම්පත් 83ක් ලැබුණු බවත්, ඉන් 36ක් මූලික අවශ්‍යතා සපුරා නොමැති නිසා ප්‍රතික්ෂේප කළ බවත්ය.

ඉතිරි අයදුම්කරුවන් 47 දෙනා සඳහා දැන් මූලික සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන අතර, සුදුසුකම් ලබන අය දෙවැනි වටයේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබේ.

දෙවැනි අදියර සමත් වන පක්ෂ 2025 වසර සඳහා නිල වශයෙන් දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචි කරනු ලැබේ.