May 31, 2026

පළාත් සභා මැතිවරණ ක්‍රමය සමාලෝචනය කිරීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දැනට කටයුතු කරන ආණ්ඩු පක්ෂයේ (ජාතික ජන බලවේගයේ) සාමාජිකයෙකු ඉවත් වී, ඒ වෙනුවට ජාතික ජන බලවේගයේ මහලේකම් නිහාල් අබේසිංහ එම කමිටුවට පත්කිරීමට ඉඩ සලසා දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පසුගිය අඟහරුවාදා යෝජනා කළේය.

පළාත් සභා මැතිවරණය තවදුරටත් ප්‍රමාද කිරීමකින් තොරව පැවැත්විය හැකි ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ‘ෆැපරල්’ (PAFFREL) සංවිධානයේ මැදිහත් වීමෙන් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 40කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවකදී දේශප්‍රිය මෙම අදහස ඉදිරිපත් කර සිටියේය.

මෑතකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යාපනයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ‘ඩිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ හානි ප්‍රතිසංස්කරණය සඳහා මැතිවරණ අරමුදල් යොදවා ඇති බැවින් මේ වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බවයි.

මෙම ප්‍රකාශය මුල් කරගනිමින් රැස්වීමට පැමිණි දේශපාලන පක්ෂ නියෝජිතයන් කිහිපදෙනෙකු එහිදී වෛද්‍ය නිහාල් අබේසිංහ වෙත දැඩි ප්‍රශ්න වැලක් එල්ල කරන ලදී.

කෙසේවෙතත්, එහිදී අදහස් දැක්වූ වෛද්‍ය අබේසිංහ අවධාරණය කළේ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජය සතුව පවතින බවයි.

මෙහිදී හිටපු මැතිවරණ සභාපති මහින්ද දේශප්‍රිය පෙන්වාදුන්නේ නිහාල් අබේසිංහට මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍යතාවයක් ඇති බවත්, අනෙකුත් පක්ෂවල අදහස් පිළිබඳවද ඔහු හොඳින් දැනුවත් බවත්ය.

ඒ අනුව, තේරීම් කාරක සභාවේ සිටින ජාතික ජන බලවේගයේ සාමාජිකයන් 10 දෙනාගෙන් අයකු ඉවත් වී එම අවස්ථාව මහලේකම්වරයාට ලබාදෙන ලෙස ඔහු යෝජනා කළේය.

ෆැපරල් සංවිධානය විසින් මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සියලුම සාමාජිකයින්ට මෙම සාකච්ඡාව සඳහා ආරාධනා කර තිබූ නමුත්, ඒ සඳහා සහභාගී වී සිටියේ විපක්ෂය නියෝජනය කරන කමිටු සාමාජිකයන් සිව්දෙනා පමණක් වීම විශේෂත්වයකි.