June 9, 2026

පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ, ගංජා මිශ්‍ර ‘මදන මෝදක’ 3,755ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය පොලිස් දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් සමත්ව තිබේ.

පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (08) පස්වරුවේ සිදුකළ වැටළීමකදී මෙම සැකකරු සමඟ අදාළ මෝදක තොගය අත්අඩංගුවට ගෙන ඇත.

නුවරඑළිය, පැරණි කඩවීදිය ප්‍රදේශයේ පිහිටි වෙළඳසලක් තුළ, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වලංගු බලපත්‍රයක් නොමැතිව පාසල් සිසුන්ට අලෙවි කිරීම සඳහා මෙම මදන මෝදක සූදානම් කර තිබූ බව අනාවරණය වී තිබේ.

අදාළ සැකකරු කිසිදු බලපත්‍රයකින් තොරව ආයුර්වේද ඖෂධ සැලක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම ජාවාරම සිදුකර ඇති අතර, එහිදී ඔහු ‘මදන මෝදක’ අලෙවියට ප්‍රමුඛතාව ලබා දී ඇති බවත්, තරුණයන් නිරන්තරයෙන් මෙම මෝදක මිලදී ගැනීම සඳහා එම ස්ථානයට පැමිණ ඇති බවත් වැටළීමේදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සොයාගත් මදන මෝදක තොගය නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.