September 18, 2026

කොකාවැව පොලිස් වසමෙන් අමුතුම මාදිලියේ පුවතක් වාර්තා වන අතර, මියගොස් ඇති බවට සිතා අවමංගල්‍ය කටයුතු මෙන්ම ආගමික දානමය පින්කම් පවා සිදුකළ පුද්ගලයකු මාස දෙකකට ආසන්න කාලයකට පසු නැවත පණපිටින් නිවසට පැමිණ තිබේ.

මෙම පුද්ගලයා මීට මාස දෙකකට පමණ පෙර අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

ඔහු දින කිහිපයකට නිවසින් පිටව ගොස් නැවත පැමිණීමේ පුරුද්දක් පැවැති බැවින්, ආරම්භයේදී පවුලේ අය ඒ පිළිබඳව කලබල වී නැත.

කෙසේවෙතත්, සතියකට වැඩි කාලයක් ගතවීමෙන් පසුව, ඔහුගේ බිරිඳ විසින් කොකාවැව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

අගෝස්තු 27 වැනි දින, හබරණ පොලිස් වසමට අයත් රක්ෂිතයක වස මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් සොයාගෙන ඇති බවට පොලිසියට තොරතුරක් ලැබී තිබේ.

ඡායාරූප සහ සිරුර පරීක්ෂා කළ ඥාතීන්, එහි තිබූ ඇඳුම් අලුත් අවුරුද්ද සඳහා ඔහුට ලබාදුන් ඇඳුම්වලට සමාන වූ බැවින්, එම මළසිරුර තම ස්වාමිපුරුෂයාගේ බවට බිරිඳ සහ පවුලේ අය විසින් තහවුරු කර ඇත.

අගෝස්තු 31 වැනි දින පොළොන්නරුවේදී එම සිරුර භූමදානය කරන ලද අතර, සැප්තැම්බර් 6 සහ 7 යන දිනවලදී ඊට අදාළ ආගමික දානමය පින්කම් ද පවත්වා තිබේ.

කෙසේවෙතත්, සැවොම තිගැස්මට ලක්කරමින්, අදාළ පුද්ගලයා බස් රථයකින් නැගණියගේ නිවසට පණපිටින් පැමිණ ඇත.

ඔහුගේ නැවත පැමිණීම පිළිබඳව දුරකථන ඇමතුමක් ලැබීමත් සමඟ පවුලේ අය වහාම කොකාවැව පොලිසියට ඒ පිළිබඳව දැනුම් දී තිබේ.