June 3, 2026

බලහත්කාර ශ්‍රමයෙන් (Forced Labor) නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ වෙළඳපොළට පැමිණීම වැළැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60ක ආනයන භාණ්ඩ සඳහා 10%ක් හෝ 12.5%ක අමතර තීරුබදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය යෝජනා කර තිබේ.

මෙම රටවල් බලහත්කාර ශ්‍රමය මඟින් සිදුවන වෙළඳාම පාලනය කිරීමට අපොහොසත් වීම අසාධාරණ බවත්, එමඟින් ඇමෙරිකානු වාණිජ කටයුතුවලට බාධා එල්ල වන බවත් එරට වෙළඳ නියෝජිත කාර්යාලය නිගමනය කර ඇත.

පසුගිය පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරන ලද ‘හදිසි තීරුබදු’ ක්‍රමය නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ට්‍රම්ප් රජය දරන උත්සාහයේ නවතම පියවරක් ලෙස, 301 වගන්තිය යටතේ සිදුකළ අසාධාරණ වෙළඳ පිළිවෙත් පිළිබඳ විමර්ශනයකින් පසුව මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව, කැනඩාව, මෙක්සිකෝව, යුරෝපා සංගමය, බංග්ලාදේශය, පකිස්ථානය සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 15කට 10%ක අමතර බද්දක් පැනවීමට වෙළඳ නියෝජිත කාර්යාලය තීරණය කර ඇත.

ලැයිස්තුවේ ඉතිරි රටවල් 45 සඳහා 12.5%ක අමතර බදු පැනවීමට යෝජනා වී ඇති අතර, බලහත්කාර ශ්‍රම ආනයන තහනම සඵලදායී ලෙස ක්‍රියාත්මක නොකිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකාවට ද පනවා ඇත්තේ මෙම 12.5%ක අමතර බදු ප්‍රතිශතයයි.

“අපගේ වැදගත් වෙළඳ සගයන් බලහත්කාර ශ්‍රම නිෂ්පාදන ආනයනය නැවැත්වීමට පියවර නොගැනීම පිළිගත නොහැකියි,” යැයි ඇමෙරිකානු වෙළඳ නියෝජිත ජේමියන් ග්‍රියර් (Jamieson Greer) ප්‍රකාශ කර තිබේ.

කෙසේවුවද, බලශක්ති, දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය, ඖෂධ, ගුවන් යානා කොටස් සහ ඇතැම් එළවළු, පළතුරු වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් මෙම බදු පැනවීමෙන් නිදහස් කර තිබේ.

මෙම යෝජිත බදු සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ජූලි 06 වැනිදා දක්වා සිදුවන අතර, ජූලි 07 වැනිදා ඒ පිළිබඳ පොදු ශ්‍රවණයක් පැවැත්වීමට නියමිතය.