April 19, 2026

වසරකට වරක් පමණක් සංශෝධනය කෙරෙන විදුලි ගාස්තු සූත්‍රයක් බලශක්ති අමාත්‍යාංශය විසින් හඳුන්වා දීමට සූදානම් වේ.

වත්මන් ගාස්තු ව්‍යුහය යටතේ සෑම මාස තුනකට වරක් ගාස්තු වෙනස් නොවන බැවින් යෝජිත සූත්‍රය ගෘහස්ථ හා කාර්මික පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ ලබා දෙන බව බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබේ.

සූත්‍රයය පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා බලශක්ති අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡා අඛණ්ඩව පවතී.

නව මිලකරණ යාන්ත්‍රණය මඟින් ගාස්තු තීරණය කිරීමේදී සෘතුමය කාලගුණික රටා සැළකිල්ලට ගන්නා බව නිලධාරියා පැහැදිලි කළේය.

“වසරේ මුල් මාස කිහිපය සාමාන්‍යයෙන් තරමක් වියළියි. වසර අවසානයේ දැඩි වර්ෂාවක් ඇද හැලෙනවා. පවතින ක්‍රමය යටතේ, වියළි සමයේදී විදුලි ගාස්තු ඉහළ ගිහින් වැසි සමයේදී පහත වැටෙනවා” යනුවෙන් ඔහු පැහැදිලි කර ඇත.

යෝජිත ක්‍රමය යටතේ, වසර ආරම්භයේදී ගාස්තු සංශෝධනය කරනු ලබන්නේ එක් වරක් පමණි.

ඉන් අදහස් කරන්නේ ලංකා විදුලිබල මණ්ඩලය වසරේ මුල් මාස හය තුළ මූල්‍යමය පාඩුවකින් ක්‍රියාත්මක වන නමුත් මෙම පාඩුව වසරේ අග භාගයේදී පියවා ගත හැකි බව යැයි නිලධාරියා ප්‍රකාශ කර ඇත.

තනි ගාස්තු සංශෝධනය මඟින් ඔවුන්ට ඒ අනුව සැලසුම් කිරීමට ඉඩ සලසන බැවින් පාරිභෝගිකයන්ට ද ප්‍රතිලාභ ලැබෙනු ඇති බව ඔහු තවදුරටත් පැවසීය.

වෙනත් රටවල ද මෙවැනිම සූත්‍ර සාර්ථකව අනුගමනය කර ඇති බව එම නිලධාරියා සඳහන් කර තිබේ.

බොහෝ භාණ්ඩ හා සේවාවල මිල ගණන් විදුලි ගාස්තු සංශෝධන අනුව උච්චාවචනය වීමට නැඹුරු වන බැවින්, නව සූත්‍රය ජීවන වියදමට සාපේක්ෂව අඩු බලපෑමක් ඇති කරනු ඇතැයි ඔහු පැවසීය.

“මේ ආකාරයෙන්, වත්මන් ගාස්තු සූත්‍රය යටතේ සිදුවන පරිදි, කෙටි කාලයක් තුළ සැළකිව යුතු මිල සංශෝධන දකින්න නොලැබේවි”

අවසන් තීරණය ගත් පසු, නව ගාස්තු සූත්‍රය අනුමැතිය සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම වෙත යවනු ලැබේ.