May 5, 2026

නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කළ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන සුපිරි වෙළෙඳසැලකට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් 500,000ක දඩයක් අද (05) නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ දේශීය නාඩු සහල් කිලෝග්‍රෑමයක් සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල රු. 230ක් වුවද, අදාළ වෙළෙඳසැල විසින් නාඩු සහල් කිලෝග්‍රෑමයක් රු. 320කට අලෙවි කළ බවයි.

සහල් මිල අසාධාරණ ලෙස ඉහළ දමමින් පාරිභෝගිකයා සූරාකන වෙළෙඳුන් සොයා අඛණ්ඩව වැටලීම් ක්‍රියාත්මක කරමින් සිටී.

එනම්, එම සුපිරි වෙළෙඳසැල විසින් නියමිත මිලට වඩා රු. 90ක වැඩි මුදලක් පාරිභෝගිකයන්ගෙන් අසාධාරණ ලෙස අය කරගෙන ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී මෙම වංචාව අනාවරණ කරගෙන තිබිණි.

සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී උපරිම සිල්ලර මිල හෝ ප්‍රකාශයට පත්කර ඇති පාලන මිල පිළිබඳ සැලකිලිමත් වන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම්දෙයි.

මෙවැනි අසාධාරණ වෙළෙඳ ක්‍රියාවන් දක්නට ලැබේ නම්, වහාම දැනුම් දෙන ලෙස ද එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.