June 24, 2024

මෙරට ජනතාවට භූමදානය සහ ආදාහනය යන දෙකෙන් එකක් තෝරා ගැනීමට ඉඩ සලසන නව නීති සම්පාදනය කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේ ඊශ්‍රායල-හමාස් යුද්ධයෙන් විපතට පත් ගාසා තීරයේ ජනතාව වෙනුවෙන් නව කාතන්කුඩි ජුම්මා මහ මුස්ලිම් පල්ලියේ ඊයේ (ජූනි 23) පැවැති ආගමික මෙහෙයකදීය.

බලහත්කාර ආදාහනය සමබන්ධයෙන් ජනාධිපතිවරයා රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගෙන් පසුගිය දිනෙක සමාව අයැද සිටීමක් ද සිදුකර තිබිණි.

“භූමදානය පිළිබඳ ප්‍රශ්නය ගැන රටේ මුස්ලිම් ප්‍රජාවගේ සැළකිව යුතු අවධානයක් තිබෙනවා. මුලදී, වෙනම කමිටුවක් පත් කකෙරුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශවලින් බැහැරව ඔවුන් දුන් නිර්දේශ මුස්ලිම් ප්‍රජාව අතර ගැටලු සහ සිත් රිදවීම් ඇති කළා,” යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය.

කමිටුව විසින් ආදාහනය කිරීමට දුන් නිර්දේශ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරන ලද බවත් ඔහු පැවසීය.

මේ නිසා කෙනෙකුට තම අභිමතය පරිදි භූමදානය සහ ආදාහනය තෝරා ගැනීමට ඉඩ සලසන නව නීති සම්පාදනය කිරීමට රජය තීරණය කළ බව ඔහු සඳහන් කළේය.

ඊට අමතරව අවශ්‍ය නම් වෛද්‍ය පීඨවලට සිරුරු පරිත්‍යාග කිරීමට ද ප්‍රතිපාදන සලසා ඇති අතර අනාගතයේදී එවැනි ගැටලු ඇතිවීම වැළැක්වීම මෙහි අරමුණ බව ජනාධිපතිවරයා පවසයි.