March 25, 2024

රුපියල් ලක්ෂ පහළොවක් වටිනා කීරි සම්බා වී ලොරියක් සොරාගෙන ගොස් එම වී තොගය විකුණා ලබාගත් රුපියල් ලක්ෂය නවයක මුදල සහ සඟවා තිබූ වී උර 11ක් පෙරේදා (23) අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය පවසයි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා පසුගිය 21 වැනිදා අරලගංවිල මැදගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර එම සැකකරුවකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා වැලිකන්ද පොලිසියේ උඩුමහලට රැගෙන යමින් සිටියදී ඔහු බිමට පැන සිදුවූ තුවාල හේතුවෙන් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරිණි.

සැකකරුවන් අරලගංවිල මැදගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36 හා 56 වයසේ පසුවන දෙදෙනෙකු වන අතර, උඩුමහලින් බිමට පැනීමෙන් තුවාල වූ සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, අනෙක් සැකකරු පොලොන්නරුව මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කර තිබෙන බව වැලිකන්ද පොලිසිය පවසයි.

අරලගංවිල උල්පත්වැව ව්‍යාපාරිකයෙකුට අයත් මෙම කීරි සම්බා තොගය රියැදුරෙකු විසින් වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ වී මෝලකට පසුගිය විසිවැනිදා විකිණීම සඳහා රැගෙන ගිය විට, එදින වීමෝලේ පැවැති තදබදය නිසා එම ස්ථානයේ වී ලොරිය නවතා හිමිකරු දුරකතනයෙන් දැනුවත් කිරීමෙන් පසු රියැදුරු නිවෙසට ගොස් තිබිණි.

පසුදා රියැදුරු එම ස්ථානයට යන විට වී ලොරිය නොතිබූ අතර අරලගංවිල උල්පත්වැව පදිංචි වී ලොරියේ හිමිකරු විසින් වැලිකන්ද පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව 21 වැනිදා අරලගංවිල 4 කණුව ප්‍රදේශයේදී එම වී ලොරිය දමාගොස් තිබියදී වැලිකන්ද පොලිසිය විසින් සොයාගන්නා ලදි.

ඒ අනුව තවදුරටත් ආරක්ෂිත කැමරා උපයෝගී කරගත් වැලිකන්ද පොලිසිය සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී සොරාගත් වී මිටි 138ක් වෙනත් ලොරියක දමා පොළොන්නරුවේ වී මෝලකට විකුණා ඇති අතර, ඉතිරි වී උර සැකකරුවන්ගේ ආහාර සඳහා නිවෙසක සඟවාගෙන තිබූ බවට හෙළිදරව් වූ බව මේ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි. (දිනමිණ)