June 7, 2026

නුවරඑළිය මහනගර සභාව තුළ පසුගිය කාලසීමාවේ සිදුවූ බව කියන රුපියල් මිලියන 9.2ක (ලක්ෂ 92ක) මහාපරිමාණ ඉන්ධන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඇතුළු වගකිවයුතු ආයතන රැසකට ලිඛිත පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

නුවරඑළිය මහනගර සභාවේ ඒකාබද්ධ විපක්ෂය සහ ‘නුවරඑළිය සුරැකීමේ සංවිධානය’ එක්ව මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත.

නුවරඑළිය පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයට ද මේ පිළිබඳව පැමිණිලි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන කියාසිටියේ, පසුගිය වසර අගභාගයේ ඇති වූ ආපදා තත්ත්වයකදී තලගල ඔය සංවර්ධනය සඳහා කුලී පදනම මත ලබාගත් යන්ත්‍ර සූත්‍රවලට ඉන්ධන සැපයීමේදී මෙම වංචාව සිදුව ඇති බවයි.

ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව වාහන ලබාගෙන, නගරාධිපති උපාලි වනිගසේකරගේ මැදිහත්වීමෙන් සහ ආවරණ අනුමැතිය මත මෙම අක්‍රමිකතාව සිදුව ඇති බවට මන්ත්‍රීවරයා චෝදනා කරයි.

ඉන්ධන සඳහා ලක්ෂ 92කට අධික මහජන බදු මුදලක් වෙන් කළ ද, ඊට සරිලන කිසිදු කාර්යයක් විනිවිදභාවයකින් යුතුව සිදුව නොමැති බව හෙතෙම අවධාරණය කරයි.

මේ අතර ‘නුවරඑළිය සුරැකීමේ සංවිධානයේ’ දිනේෂ් ලංකා ගීගනගේ ප්‍රකාශ කළේ, පාලකයන්ගේ මෙම දූෂිත ක්‍රියාකලාපය හේතුවෙන් මේ වන විට නගර සභාවේ කසළ කළමනාකරණ රථ පවා ඩීසල් නොමැතිව තැන් තැන්වල නතර වී ඇති බවයි.

වර්තමානයේ පවතින දැඩි ආර්ථික පීඩනය හමුවේ මහජන බදු මුදල් මෙලෙස අවභාවිත කිරීම දැඩි සේ හෙළාදකින බවත්, මීට මුදල් කාරක සභාවේ සභාපති වන නගරාධිපතිවරයා සෘජුව වගකිව යුතු බවත් ඔහු පැවසීය.

මෙම චෝදනා සම්බන්ධයෙන් නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකරගෙන් විමසීමට ජනමාධ්‍ය උත්සාහ කළ ද, තමන්ට ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම සිය පක්ෂය විසින් තහනම් කර ඇති බව පවසමින් ඔහු අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත.