July 22, 2023

ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවට “ගෞරවනීය ජීවිතයක්” සහතික කිරීම සඳහා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව අපේක්ෂා කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජනාධිපති රනිල් වික්‍රමසිංහට පවසා තිබේ.

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අතරතුර සිදුවූ හමුවේදී අගමැතිවරයා මේ බව පවසා ඇත.

දෙරට අතර වැඩි සම්බන්ධතාවයක් සහතික කළ හැකි යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවක් පිළිබඳව දෙපාර්ශවයම එහිදී සාකච්ඡා කර ඇති බවත්, ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සපිරෙන ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් සඳහා ‘සංවර්ධන ආධාර පැකේජයක්’ ඉන්දියාව විසින් ප්‍රකාශයට පත් කර ඇති බවත්, අගමැති මෝදි ජනාධිපතිවරයාට එහිදී දන්වා ඇතැයි ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර ඇත.

එම කරුණ අද(22) කොළඹදී ජනමාධ්‍ය හමුවේ ජනාධිපතිවරයාගේ සංචාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදේශ ඇමැති අලි සබ්‍රි විසින්ද තහවුරු කරනු ලැබීය.

“අපි ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ ප්‍රශ්නය භාර ගත්තා. වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔහුගේ සියලු අදහස් මට ඉදිරිපත් කළා. ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”

”සමානාත්මතාවය, යුක්තිය සහ සාමය සහතික කිරීම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට සහ පළාත් මැතිවරණ පැවැත්වීමට ශ්‍රී ලංකාව සිය කැපවීම ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා” යැයි අගමැති මෝදි එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.