November 9, 2026

පොලිසියෙන් බව අඟවමින්, ව්‍යාජ ‘GovPay’ සබැඳි හරහා අධික වේගයෙන් රිය පැදවීමේ දඩ මුදල් ගෙවන ලෙස ඉල්ලා සිටින සයිබර් වංචාවක් පිළිබඳව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මහජනතාවට අනතුරු අඟවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසා ඇත්තේ, මහජනතාව අතර සංසරණය වන මෙම SMS සහ Message පණිවුඩ සම්පූර්ණයෙන්ම ව්‍යාජ ඒවා බවත්, පුද්ගලික සහ මූල්‍ය තොරතුරු සොරාගැනීමේ අරමුණින් සකස් කර ඇති බවත්ය.

රථවාහන වරදක් සම්බන්ධයෙන් දඩ මුදල් ගෙවන ලෙස ඉල්ලමින් නිල GovPay වේදිකාව හරහා අමාත්‍යාංශය හෝ කිසිදු රාජ්‍ය ආයතනයක් මෙවැනි නිවේදන නිකුත් කර නොමැති බව ඔහු පැහැදිලි කළේය.

GovPay ඩිජිටල් ගෙවීම් පද්ධතිය ක්‍රියාත්මක වන්නේ රජයේ අනුමැතිය ලත් සුරක්ෂිත ක්‍රියාපටිපාටීන් ඔස්සේ පමණක් බවත්, lygov.art වැනි සැකකටයුතු වෙබ් අඩවි හෝ ව්‍යාජ ඩොමේන හරහා දඩ මුදල් රැස් නොකරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ව්‍යාජ ගෙවීම් සබැඳි මත ක්ලික් කිරීමට සැලැස්වීමෙන් පුරවැසියන්ගේ පුද්ගලික තොරතුරු සහ බැංකු ගිණුම් විස්තර ලබා ගැනීමට මෙම වංචාව මගින් උත්සාහ කරන බවට ඔහු අනතුරු ඇඟවීය.

මෙවැනි පණිවුඩවලට ප්‍රතිචාර නොදක්වන ලෙසත්, ඒවායේ අඩංගු කිසිදු සබැඳියක් ක්ලික් නොකරන ලෙසත් මහජනතාවට තදින්ම උපදෙස් දී ඇත.

රාජ්‍ය හෝ නීතිය බලාත්මක කරන ආයතනවලින් බව පවසමින් ලැබෙන සැකකටයුතු නිවේදන කෙරෙහි අවධානයෙන් සිටින ලෙසද අමාත්‍යාංශය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

රාජ්‍ය සේවාවන් ලබා ගැනීමේදී gov.lk ඩොමේනය යටතේ ඇති නිල රාජ්‍ය වෙබ් අඩවි පමණක් භාවිතා කරන ලෙසත්, පුද්ගලික හෝ මූල්‍ය තොරතුරු තෙවැනි පාර්ශවයන් සමඟ හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරයා මහජනතාවට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.