April 23, 2024

වේයන්ගොඩ ගබඩා සංකීර්ණයෙන් නිකුත් කර ඇත්තේ ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් පාසල් ආහාර වැඩසටහනට බෙදා හැරීම සඳහා පත්කළ විද්වත් කමිටුව මගින් මිනිස් පරිභෝජනයට සුදුසු යැයි සළකනු ලැබූ සහල් තොග පමණක් බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශ්ලේෂණ වාර්තා මත පදනම්ව කමිටුව අදාළ නිර්දේශ ලබා දී ඇති බව ද නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරයි.

වේයන්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයේ ගබඩාවක පාසල් සිසුන්ගේ ආහාර වේල සඳහා යොදා ගැනීමට නියමිතව තිබූ සහල් තොග ප්‍රමිතියෙන් තොර සහ කෘමි හානි හේතුවෙන් පරිභෝජනයට නුසුදුසු බවට අනාවරණ වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කිරීමෙන් අනතුරුව මෙම නිවේදනය නිකුත්කර තිබේ.

ලෝක ආහාර වැඩසටහන (WFP) සමඟ එක්ව පාසල් සිසුන්ට පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් නොමිලේ ලබාදීම සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන සඳහා අදාළ සහල් තොග යොදා ගැනීමට සූදානම් කර ඇති බව වාර්තා විය.

ඒ අනුව ලෝක ආහාර වැඩසටහනේ සහයෝගිතාව පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේ හවුල්කාරිත්ව ලේකම් කාර්යාලය අදාළ කරුණු පැහැදිලි කරමින් සහ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් විශේෂ මාධ්‍ය නිවේදනය නිකුත්කර තිබේ.

ආයතන කිහිපයකින් පරිභෝජනයට ආරක්ෂිත බව තහවුරු කර ඇති වේයන්ගොඩ ගබඩාවේ සහල් තොගය නැවත පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය අංශය නියෝජනය කරන කණ්ඩායමක් යොදවන ලෙස සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට ලිඛිතව උපදෙස් දෙන බව එහි සඳහන් වේ.

මීට අමතරව, මෙම සහල් තොගය මැයි 01 වැනිදාට පෙර ප්‍රයෝජනයට ගැනීමට උපාය මාර්ග සැකසීම ද ඔවුන්ට පැවරී තිබේ.

ක්‍රියාපටිපාටියට අනුව, මධ්‍යම ගබඩාවෙන් සහල් තොගය අදාළ පළාත්වලට බෙදා හැරීමට පෙර, එය මිනිස් පරිභෝජනයට සුදුසු දැයි සහතික කිරීම සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සහ පළාත නියෝජනය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු සිටිය යුතුය.

ඔවුන්ගේ අත්සනින් නිල තහවුරු කිරීමෙන් පසුව පමණක් එම සහල් තොග අදාළ පළාත්වලට නිකුත් කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.

පාසල් සිසුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිත බව සහ ආහාරවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ලෝක ආහාර වැඩසටහන මඟින් සපයනු ලබන සහල් පාසල් අරක්කැමියන් වෙත බෙදා හැරීමට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ සහ පාසල් පෝෂණ කමිටුවේ නියෝජිතයකුගේ පරීක්ෂාවට ලක්කිරීමේ අවශ්‍යතාව එම උපදෙස් මඟින් තවදුරටත් අවධාරණය කර තිබේ.

අන්තර්ජාතික ආහාර ඇසුරුම් තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූලව මෙම සහල් තොගය මැයි 31 වැනිදාට පෙර භාවිත කරන ලෙස උපදෙස් දී ඇත.

සහල් ප්‍රදානයක් ලෙස ලැබී ඇති බැවින් ඇසුරුම්වල “විකිණීමට නොවේ” යනුවෙන් ලේබල් කර ඇත.

මෙම සහල් පරිභෝජනයට නුසුදුසු බවට මෙම ලේබලයෙන් නොපෙන්වන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

විවිධ සෞඛ්‍ය ක්ෂේත්‍ර සළකා බැලීම් නියෝජනය කරමින් සිදුකරන ලද පුළුල් පරීක්ෂණයකින් අනතුරුව ලෝක ආහාර වැඩසටහන එහි යෝග්‍යතාව තහවුරු කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.