June 13, 2026

අයියෝ සල්ලි! ඔන්න ඇඟ කිලිපොලා යන, ඒ වගේම හිතාගන්නවත් බැරි අන්දමේ මාරුවීමක් මොනරාගල පැත්තෙන් ආරංචි වෙනවා. මැරුණ කෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න ලෑස්ති වෙච්ච නෑදෑයෝ, රෝහලේ දොස්තරලටයි සේවකයන්ටයි දෙහි කැපිල්ලක් තමයි දැන් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල අවට සිද්ධ වෙන්නේ.

කතාව මෙන්න මෙහෙමයි. මොනරාගල ඉස්පිරිතාලේ ප්‍රතිකාර ලබමින් ඉඳලා මියගිය කාන්තාවකගේ මෘතදේහයක් වෙනුවට, ඊයේ (12 වෙනිදා) නෑදෑයින්ට රෝහලෙන් බාරදීලා තියෙන්නේ පිරිමි පුද්ගලයකුගේ මෘත දේහයක්.

රෙද්දෙන් වහලා දුන්නම නෑදෑයොත් අරන් ගිහින්.

බඩල්කුඹුරු, අප්පොත කොළනිය මුස්ලිම් ගම්මානයේ පදිංචි කාන්තාවකගේ මළසිරුර බාරගන්න තමයි නෑදෑයෝ රෝහලට ඇවිත් තියෙන්නේ. හැබැයි මෘතශරීරාගාරයෙන් (මෝචරියෙන්) දේහය බාරදෙන කොට ඒක සම්පූර්ණයෙන්ම රෙද්දකින් වහලයි තිබිලා තියෙන්නේ. ඉතින් නෑදෑයොත් හරියටම මිනිය කවුද කියලා හඳුනාගන්නේ නැතුව, තමන්ගේ කෙනා කියලා හිතාගෙන කෙළින්ම ගෙදර අරන් ගිහින්.

මිනිය නාවන්න ලෑස්ති කරනකොටයි ‘වැඩේ’ මාට්ටු වෙලා තියෙන්නේ.

ඉස්ලාම් ආගමික චාරිත්‍රවල හැටියට භූමදානය කරන්න කළින් මෘතදේහය නාවන්න ඕනනේ. ඔන්න ඉතින් නෑදෑයෝ එකතු වෙලා ආගමික වතාවත්වලට අනුව දේහය නාවන්න ලෑස්ති වෙනකොට තමයි වරදිල්ලේ තරම අනාවරණය වෙලා තියෙන්නේ. ගෑණු මිනිය වෙනුවට ඇඳ උඩ ඉන්නේ උඩු රැවුල තියෙන පිරිමි මිනියක්!

රෝහල කියන්නේ “වැඩේ වැරදුණේ නෑදෑයන්ට” කියලයි.

වැඩේ සිද්ධ වෙච්ච ගමන් කලබල වෙච්ච නෑදෑයෝ ටක්ගාලා පිරිමි මිනිය ආයෙත් වෑන් එකක දාගෙන මොනරාගල ඉස්පිරිතාලෙටම දිව්වා. ගිහින් පිරිමි මිනිය දීලා, තමන්ගේ මියගිය කාන්තාවගේ සිරුර නිවැරදිව බාරගෙන, එදිනම සවස භූමදාන කටයුතු සිද්ධ කරලා තියෙනවා.

හැබැයි ඉතින් මේ මහා හුටප්පරය ගැන රෝහලේ සුළු සේවක පරිපාලන අංශයෙන් විමසපුවාම ඔවුන් කියන්නේ වෙනම කතාවක්. ඔවුන් කියන්නේ මෘතදේහයක් හරියට හඳුනාගෙන අරන් යාම නෑදෑයන්ගේම වගකීමක් මිසක් රෝහලේ වැරැද්දක් නෙවෙයි කියලයි.

කොහොම වුණත් මීට පස්සේ ඉස්පිරිතාලෙකින් මිනියක් බාරගන්නකොට මූණ බලලම ගන්න එක ඇඟට ගුණයි වගේ.