June 16, 2026

ඉන්දියාවේ මිලියන සංඛ්‍යාත තරුණ ප්‍රජාව නියෝජනය කරමින් මෑතකදී දැවැන්ත ජනප්‍රියත්වයක් ලබාගත් ‘කැරපොතු ජනතා පක්ෂයේ’ (Cockroach Janta Party – CJP) නිර්මාතෘ සහ Gen-Z තරුණ නායක අභිජීත් දිප්කේ උතුරු ඉන්දියාවේ ජායිපූර් නගරයේ පැවැති විරෝධතාවක් අතරතුරදී ප්‍රහාරයකට ලක්ව තිබේ.

රොයිටර් පුවත් සේවයට අනුව, 30 හැවිරිදි දිප්කේ සිය ආධාරකරුවන්ගේ කර මතින් ගමන් කරමින් සිටියදී, එතැනට කඩාවැදුණු හඳුනානොගත් පුද්ගලයන් දෙදෙනකු විසින් ඔහුගේ මුහුණට සහ උරහිසට දිගින් දිගටම කම්මුල් පහරවල් කිහිපයක් එල්ල කරන අයුරු සමාජ මාධ්‍ය සහ රූපවාහිනී දර්ශනවල සටහන්ව තිබේ.

ප්‍රහාරයෙන් පසු අදහස් දැක්වූ අභිජීත් දිප්කේ ප්‍රකාශ කළේ, තමන් ඉලක්ක කර ඇති ප්‍රධාන ගැටලුවලින් ජනතා අවධානය වෙනතකට යොමුකිරීමට සහ තමන් ඇතුළු පිරිස බියවැද්දීමට මෙවැනි උපක්‍රම භාවිත කරන නමුත්, තරුණ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟීම කිසිසේත් නතර නොකරන බවයි.

පසුගිය මැයි මාසයේදී ඉන්දීය අගවිනිසුරුවරයා විසින් රැකියා විරහිත තරුණයන් ‘පරපෝෂිතයන්’ සහ ‘කැරපොත්තන්’ ලෙස හැඳින්වූ බවට වාර්තා වූ ප්‍රකාශයකින් කුපිත වූ දිප්කේ, එයට උපහාසාත්මක ප්‍රතිචාරයක් ලෙස මෙම ව්‍යාපාරය ආරම්භ කළේය. තමන් “කැපී පෙනෙන, රැකියා විරහිත සහ අමතක කර දැමූ” තරුණ පරපුරේ හඬ බව ඔවුහු පවසති.

ඉන්දියාවේ වයස අවුරුදු 30ට අඩු ජනගහනය බිලියන 1.42ක (මුළු ජනගහනයෙන් අඩකට වඩා) අතිවිශාල පිරිසක් වන අතර, ඔවුන් අතර පවතින දැඩි රැකියා විරහිතභාවය සහ අධ්‍යාපන ක්‍රමයේ ගැටලු CJP ව්‍යාපාරය වටා තරුණයන් රොද බැඳීමට හේතු විය.

මැයි මැද භාගයේ ආරම්භ කළ මෙම ව්‍යාපාරයේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම සති කිහිපයක් ඇතුළත මිලියන 22.5ක අනුගාමිකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීමට සමත් වී තිබේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලනය විසින් මෙම ව්‍යාපාරයේ නිල ‘X’ (ට්විටර්) ගිණුම තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර, CJP ව්‍යාපාරය එයට එරෙහිව දිල්ලි අධිකරණයේ නඩු පවරා තිබේ.