September 11, 2026

පොල්පිතිගම, මඩගල්ල ප්‍රදේශයේ හල්මිල්ලගොල්ලවැවට නෑමට ගිය 26 හැවිරිදි තරුණයකු අඩි 13ක් පමණ දිගැති යෝධ කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්ව අනූනවයෙන් මරණයෙන් බේරී තිබේ.

රත්නායක මුදියන්සේලාගේ නිලංග නිලුපුල් රත්නායක නමැති මෙම තරුණයාගේ බෙල්ල, පිටකොන්ද, අත් සහ කකුල්වලට බරපතළ තුවාල සිදුවී ඇති අතර, ඔහු මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ සැත්කමකට භාජනය කිරීමට නියමිතව ප්‍රතිකාර ලබයි.

වැඩ නිමවී සන්ධ්‍යා කාලයේ වැවට ගිය නිලංග, නාගෙන ඉවර වී ඇඳුම් ඇඳගැනීමට වැව් කන්දට පැමිණ ඇත.

එහිදී ජල පහර අසල අමතක වී දමා ආ සබන් කැටය ගැනීමට නැවත පඩිපෙළෙන් පහළට බසිද්දී එකපාරටම කිඹුලා ඔහුගේ පයට පහරදී වතුරට ඇද දමා ඇත.

පඩිය අල්ලාගෙන පය බේරාගැනීමට උත්සාහ කරද්දී කිඹුලා තරුණයාගේ උරහිසෙන් අල්ලාගෙන තිබේ.

එහිදී සියලු ධෛර්යය දැමූ නිලංග, තම අත කිඹුලාගේ කට ඇතුළට දමා කට ඇරීමට සලස්වා කිඹුලාගේ ග්‍රහණයෙන් මිදී ඇත.

කිඹුලා විසින් තරුණයාගේ පිටකොන්දෙන් මස් කැබැල්ලක්ම ඩැහැගෙන තිබුණද, ඉතිරි කරගත් ශක්තියෙන් වැව් කන්දට නැගී සිය මෝටර් සයිකලය පදවාගෙන ගෙදර යෑමට තරම් ඔහු ශක්තිමත් වී ඇත.

අඩි 13ක් පමණ දිගැති මෙම කිඹුලා මීට පෙරද ගමේ නිවෙස්වල වතුවලට වැදී බල්ලන් සහ අනෙකුත් සතුන් ඩැහැගෙන ඇති බවත්, මීට පෙර මිනිසුන්ට ද පහරදීමට උත්සාහ කර ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.

ප්‍රදේශයේ ජනතාවගේ සහ සතුන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා මෙම යෝධ කිඹුලා වහාම අල්ලා වෙනත් අභයභූමියකට නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීහු වනජීවී බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.