August 19, 2025

රත්නපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකු රාජකාරි වේලාව තුළ පෞද්ගලික රෝහලක සැත්කමකට සහභාගී වූ බව කියන සිදුවීමක් ගැන එම රෝහල් අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය ලේකම්වරයාට පැමිණිලි කර ඇත.

පසුගිය අගෝස්තු 14 වැනිදා රෝහලේ රාජකාරි වේලාවේදී පොදු චක්‍රලේඛ උල්ලංඝණය කර පෞද්ගලික රෝහලක සේවය කළ මෙම විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාට එරෙහිව විනය පරීක්ෂණයක් කරන්නැයි රෝහල් අධ්‍යක්ෂවරයා තම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

මේ පිළිබඳව රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මෙසේ පවසා ඇත.

“පරීක්‍ෂණයක් ආරම්භ කරන්න කියලා මම අමාත්‍යාංශ සෞඛ්‍ය ලේකම්ට දන්වලා තියෙනවා. සාධාරණ හේතුවක් තියෙනවා එහෙම පරීක්ෂණයක් කරන්න. පෞද්ගලික රෝහලක හදිසි රෝගියෙක් හිටියොත් විශේෂඥ වෛද්‍යවරුන්ට යන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒක පොදු චක්‍රලේඛ අංක 02/99 පැහැදිලි කරලා තියෙනවා. ඒ අනුව අදාළ පෞද්ගලික රෝහලින් පළමුවෙන් ම රජයේ රෝහලේ අධ්‍යක්ෂකට දැනුම් දෙන්න ඕන. අධ්‍යක්ෂ තමයි එවිට විශේෂඥ වෛද්‍යවරුන්ව යොමු කරන්නේ. මේ අවස්ථාවේදී ඒ දෙක ම වුණේ නැහැ. අදාළ රෝහලින් මට කතා කළෙත් නැහැ. විශේෂඥ වෛද්‍යවරු මට කතා කළෙත් නැහැ. මම එදා මුළු දවසෙම රෝහලේ හිටියා. එම විශේෂඥ වෛද්‍යවරු නියෝජ්‍ය අධ්‍යක්ෂකට කතා කරලා ගිහිල්ලා තිබුණා. නියෝජ්‍ය අධ්‍යක්ෂකට එහෙම බලයක් දීලා නැහැ.

විශේෂඥ වෛද්‍යවරු ම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ රෝහල් අධ්‍යක්ෂ. එනිසා ඒ ගිය ක්‍රමවේදය සම්පූර්ණයෙන් වැරදියි. අනුමැතියක් නැතිව පොතේ ලියලා එහෙම යන්න බැහැ. ඉතින් ඒ ගැන පරීක්ෂණයක් කරන්න කියලා මම ඉල්ලුවා. එදා රාජකාරි වෙලාවේ සේවයේ හිටපු අය ගිහිල්ලා තියෙන්නේ. ඒ දවසේ නොමේරූ ළදරු ඒකකය බලන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා, නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා, වගේම ඔන් කෝල් ඩියුටි පැය 24 රජකාරි ඉන්න ඕන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයත් ගිහිල්ලා එදා එයාට තිබ්බා වෙන කෙනෙක් යවන්න.”(මව්බිම)