August 11, 2025

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට ලැබුණු තොරතුරක් මත, කොටස් ලෙස ආනයනය කර මෙරටදී එකලස් කර විදේශ රටක නිෂ්පාදිත ලෙස සදහන් කරමින් වෙළදපොළට නිකුත්කිරීමට සකස්කරමින්, ගබඩාකරමින් සහ විකිණීමට ඉදිරිපත් කිරීමට සුදානම් කරමින් තිබූ ගෑස් උදුන් 3000ක පමණ තොගයක් ඇතුළු තවත් භාණ්ඩ තොගයක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී වටළා ඇත.

අදාළ භාණ්ඩ කොටස් ලෙස ආනයනය කර මෙරටදී එකලස් කරන බව හා ඊට අවශ්‍ය තවත් කොටස් කිහිපයක් මෙරට විවිධ පුද්ගලයන්ගෙන්ද මිලදීගන්නා බව එහිදී ප්‍රකාශ වුවද, එම කරුණු සනාථ කිරීමට කිසිදු ලේඛනයක් අදාළ ආයතනය විසින් එම අවස්ථාවේදී නිලධාරීන්ට ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇත.

එමෙන්ම අදාළ ගෑස් උදුන් බහාලන ඇසුරුම් සහ ඊට අදාළ ලේඛනද දේශීයව සකස්කර මුද්‍රණය කරන බවද එහිදී අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකාවට ගෑස් උදුන් ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් කළමනාකරණය කරනු ලබන අනිවාර්ය ආනයන පරීක්ෂණ යෝජනා ක්‍රමයේ (CIIS) කොටසක් වන ආනයන පරීක්ෂණ ක්‍රමවේදයකට යටත්වන අතර, ඒ මගින් ගෑස් උදුන් නිශ්චිත තත්ත්ව සහ ආරක්ෂණ ප්‍රමිතීන් සපුරාලන බවට සහතික කරනු ලබයි.

එමෙන්ම එමගින් සෞඛ්‍ය, ආරක්ෂාව සහ පාරිසරික බලපෑම වැනි සාධක මත පදනම්ව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනුකූලතාවය තක්සේරු කරන අතර, අදාළ භාණ්ඩ වෙළෙඳපොළට නිදහස් කිරීමට පෙර එම අනුකූලතා සහතික හෝ පරීක්ෂණ අනිවාර්ය වේ.

මෙම ව්‍යාපාරිකයා විසින් අදාළ අනිවාර්ය ආනයන පරීක්ෂණ යෝජනා ක්‍රමයේ පරීක්ෂණ මගහරිමින් මෙම එකලස්කිරීම සිදුකරන බවත්, එමගින් නිසි ප්‍රමිතියට අනුකූල වන්නේද යන්න සහතික කිරීමකින් තොරව භාණ්ඩ වෙළදපොළට භාණ්ඩ නිකුත්කරනු ලබන බවත් එම මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අදාල වැටළීම සම්බන්ධව එදිනම මාලිගාකන්ද මහේත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකිරීමට නිලධාරීන් කටයුතු කර ඇති අතර, අදාළ ගබඩාව මුද්‍රාතබා ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට අධිකරණය නියම කර ඇත.

ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක වේ.