July 19, 2025

මෙරට සංචාරයේ නිරත ඊශ්‍රායල සංචාරකයකු සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් 150ක් පමණ වැයකරන අතර එය සාපේක්ෂව ඉහළ අගයක් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ නිලධාරීන් ආර්ථික සංවර්ධන සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට පැවසුවේ, පොදුවේ ගණනය කළ හැකි වුවද සංචාරකයන්ගේ ජාතිකත්වය අනුව වියදම් කිරීමේ හැකියාව සොයාබැලීමට යාන්ත්‍රණයක් නොමැති බවයි.

ආරක්ෂක ගැටළු සහ චබාද් නිවාසවල ක්‍රියාකාරීත්වය පිළිබඳ පවතින මතභේදාතමක තත්වය හමුවේ මෙරට තුළ චබාද් නිවාස පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය පිළිබඳව එම කමිටුව විමසීමක් කර තිබේ.

එම විමසීමට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යාංශයේ නිලධාරීන් පවසා ඇත්තේ චබාද් නිවාස පහෙන් දෙකක් සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති ආර්ථික සංවර්ධන සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදී මෙම කරුණු අනාවරණ විය.