June 29, 2025

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය(නාරා) විසින් නීත්‍යනුකූලව හිමිකාරිත්වයක් නොමැති ඉඩම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 3.23කට වඩා වියදම් කර ඇති බව ජාතික විගණන කාර්යාලයේ නවතම විගණන වාර්තාවෙන් හෙළි වේ.

විගණනයට අනුව, නාරා ආයතනය විසින් නිසි හිමිකාරිත්වයක් ලබා නොගෙන හෝ විධිමත් ඉඩම් පැවරීමේ ක්‍රියා පටිපාටි සම්පූර්ණ නොකර ඉඩම් හතරක් සංවර්ධනය කර ඇත.

රැකව, කඩොල්කැලේ, කල්පිටිය සහ කුඩාව යන ප්‍රදේශවල පිහිටා ඇති මෙම ඉඩම් විවිධ ජලජීවී වගා සහ ධීවර සංවර්ධන ව්‍යාපෘති සඳහා භාවිත කර ඇති අතර, සැළකිව යුතු මහජන අරමුදල් වසර ගණනාවක් තිස්සේ ආයෝජනය කර ඇත.

2019 දෙසැම්බර් 31 වන විට, නාරා ආයතනය විසින් නීත්‍යනුකූල හිමිකාරිත්වයක් නොමැතිව භාවිත කරන ඉඩම්වල වටිනාකම රුපියල් 3,231,216,479 (රු. බිලියන 3.23)ක් වූ බව වාර්තාව අවධාරණය කර ඇත.

මීට අමතරව, 2014 දී සිදු කරන ලද නැවත තක්සේරුවකින් මෙම ඉඩම් තුනක් රුපියල් මිලියන 268.75ක් ලෙස තක්සේරු කර තිබුණ ද මෙම මුදල කිසි විටෙකත් නාරා ආයතනයේ මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කර නොමැති අතර එය රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන් උල්ලංඝනය කරයි.

කල්පිටියේ කුඩාව ප්‍රදේශයේ අක්කර තුනක ඉඩමක් සම්බන්ධයෙන් සැළකිව යුතු සිද්ධියක් ඇති අතර, එහිදී 2022 පෙබරවාරි මාසයේදී විධිමත් බදු ගිවිසුමක් ලබා ගැනීමට වසර දෙකකට පෙර 2020 දී නාරා ආයතනය රුපියල් මිලියන 1.63ක වියදමින් බහු විශේෂ මත්ස්‍ය අභිජනන සංකීර්ණයක් ඉදිකිරීම ආරම්භ කර තිබිණි.

ව්‍යාපෘතිය අසම්පූර්ණව පවතින අතර, ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන් 7 හි 77 වැනි ඡේදය යටතේ නියම කර ඇති පරිදි අතහැර දැමූ හෝ ඇණහිට ඇති ප්‍රාග්ධන කටයුතු සඳහා අවශ්‍ය ක්‍රියා පටිපාටිවලට අනුකූල වීමට ආයතනය අපොහොසත් වී ඇත.

දිගුකාලීන බදු දීමක් හරහා කුඩාව ඉඩම පැවරීමට ඉල්ලීමක් කර තිබුණද, පසුව 2023 මැයි 26 දිනැති ලිපියකින් විධිමත් ලෙස යෝජනා කරන ලද රජයේ ප්‍රදානයක් හරහා ඉඩම සුරක්ෂිත කිරීමට නාරා ආයතනය අධීක්ෂණය කරන අමාත්‍යාංශය නිර්දේශ කර තිබිණි.

විගණනයට ප්‍රතිචාර වශයෙන්, අදාළ ගාස්තු නොගෙවීම සහ පරිපාලන සංකූලතා හේතුවෙන් ප්‍රමාදයන් ඇති වූ බව නාරා නිලධාරීන් පිළිගෙන ඇත.

නැවැත්වූ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ඉන්දීය රජයෙන් ලබා ගත හැකි සහාය ගවේෂණය කිරීම සඳහා සාකච්ඡා සිදුවෙමින් පවතින බව ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර තිබේ..

රුපියල් මිලියන 16.86ක් වටිනා මාළු ආහාර නිෂ්පාදන යන්ත්‍රයක් පෞද්ගලික සමාගමකට බදු දීම, රුපියල් මිලියන 4.65ක් වටිනා හිඟ කල්බදු ගෙවීම් අයකර ගැනීමට අපොහොසත් වීම සහ පසුව බදු ගිවිසුම් යටතේ අඛණ්ඩව ගෙවීම් පැහැර හැරීම්වලට එරෙහිව පියවර නොගැනීම ඇතුළු වෙනම මූල්‍ය අක්‍රමිකතා ද විගණනය මගින් අනාවරණය කර තිබිණි.

ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ තහවුරු කට තිබුණේ සියලුම විගණන සොයාගැනීම් දැනට සමාලෝචනය කරමින් පවතින බවයි.

“මතු කරන ලද ගැටළු විසඳීමට සහ පොදු වත්කම්වල වගකීමෙන් යුත් කළමනාකරණය සහතික කිරීමට අවශ්‍ය පියවර අපි ගන්නවා,” නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.