June 16, 2025

සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් [Sarvodaya Development Finance PLC (SDF)] සමාගමේ වාර්ෂික කාර්ය මණ්ඩල සම්මාන උළෙලේ 2025 අදියර වූ ‘Achievers’ Night 2025’ කොළඹදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

එම සම්මාන උළෙලේදී දිවයින පුරා විසිරී සිටින සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් හි කාර්ය මණ්ඩලයේ විශිෂ්ටයන් පිරිසක් ඇගයීමට ලක්විය.

සමාගමේ සභාපතිවරයා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළුව සමාගමේ ජ්‍යෙෂ්ඨ නායකත්වයේ සාමාජික සාමාජිකාවන්, නීතා ආරියරත්න සහ ලංකා ජාතික සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න ඇතුළු සම්භාවනීය ආරාධිතයන් සහ එම සමාගමේ කාර්ය මණ්ඩලයේ 600 කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් සමාගම ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන මූල්‍ය සමාගම් අතරින් එකක් ලෙස සැලකෙන අතර, මෙම උත්සවය සමාගම මෙතෙක් අත්කරගත් ජයග්‍රහණ සැමරීමට මෙන්ම සමාගමේ සාමාජික සාමාජිකාවන් අතර සුහදත්වය වර්ධනය කිරීමට ලැබුණු අනගි අවස්ථාවක් විය.

Best Business Development Officer, Best Branch Manager and Best Region Manager, Best Recovery Officer, Best Regional Recovery Officer, Best Deposit Mobilizer සහ Best Gold Loan Officer යනාදී කාණ්ඩ රැසක් යටතේ මෙහිදී ජයග්‍රාහකයන් වෙත සම්මාන පිරිනමන ලදි.

ඊට අමතරව තෝරාගත් විශිෂ්ටයන් පිරිසකට විදේශ සංචාරද හිමි වූ අතර, මෙය සිය කාර්ය මණ්ඩලයේ දියුණුව මෙන්ම ඔවුන් තුළ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීම සඳහා සමාගම දක්වන උනන්දුවට මනා සාක්ෂියක් විය.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති පැවසුවේ “‘Achievers’ Night’ යනු හුදෙක් සම්මාන උළෙලක් පමණක් නොවන බවයි.

එය සමාගමේ සාමාජික සාමාජිකාවන් දිනපතා ප්‍රදර්ශනය කරන උනන්දුව හා කැපවීම මෙන්ම ඔවුන්ගේ දායකත්වය තුළින් ඉටු වන මෙහෙවර සමරන සුවිශේෂී අවස්ථාවක් බවත්, ඩිජිටල් තාක්ෂණය සහ නව ප්‍රවණතා ඔස්සේ අඛණ්ඩව වෙනස් වෙමින් පවතින මූල්‍ය සේවා ක්ෂේත්‍රයක් තුළ එම සමාගම පුද්ගල සංවර්ධනයට මුල් තැන දෙන බවත් ඔහු පැවසුවේය.